පාවිච්චි කළ PCR කට්ටල සෝදා නැවත පාවිච්චි කරලා – වැඩේ වැරදුනාට පස්සේ වන්දියක් දෙන්න පොරොන්දු වෙලා

පාවිච්චි කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල සෝදා නැවත පාවිච්චි කිරීම හා විකිණීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ ඖෂධ සමාගමක නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය අනාවරණය කරයි.

ඉන්දුනීසියාවේ මේඩන් ගුවන්තොටුපළෙහිදී මෙම සිදුවීම සිදුව ඇත.

මගීන් 9000කට පමණ මෙලෙස පාවිච්චි කළ පී.සී.ආර්. කට්ටලයන්ගෙන් පරීක්ෂණ සිදුකර ඇති බව එරට පොලීසිය සොයාගෙන ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය සතු ඖෂධ සමාගමක් වන කිමියා ෆාමා සමාගම මේ වනවිට පාරිභෝගික නීති කඩ කිරීම සම්බන්ධයෙන් නඩුවකට මුහුණ දෙමින් සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.

එරට පොලිසිය පවසන්නේ පසුගිය දෙසැම්බරයේ සිටම මේඩන් ගුවන්තොටුපොළේදී මෙම වංචාව සිදුවී ඇති බවට විශ්වාස කෙරෙන බවයි.

ව්‍යාජ ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵල ලැබී ඇති බවට මගීන්ගෙන් ලැබුණු පැමිණිලි කිහිපයකට පසු පොලිසිය මගියකු ලෙස පෙනී සිටීමට රහස් නිලධාරියකු යවා ඇති අතර ඔහු පරීක්ෂණය සිදු කොට ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵලයක් ලැබුණු විගසම සැඟවී සිටි නිලධාරීන් විසින් මෙම සමාගමෙහි කළමනාකරු ඇතුළු සේවකයන් පස් දෙනක් අත්අඩංගුවට ගනු ලැබීය.

බලධාරීන් සාක්ෂිකරුවන් 23 දෙනකුගෙන් වාර්තා සම්පාදනය කර ඇත. මෙම වංචාවෙන් ලද ලාභය ඩොලර් 89,700ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.

ජකර්තා අගනුවර මූලස්ථානය වන කිමියා ෆාමා ඊට සම්බන්ධ කාර්ය මණ්ඩලය ඉවත් කර අභ්‍යන්තර පාලනය දැඩි කරන බවට පොරොන්දු වී ඇත. පීඩාවට පත් සෑම මගියෙකුටම වන්දි මුදලක් ගෙවීමට සූදානම් බවද සමාගම දැනුම් දී තිබේ.

Related posts

Leave a Comment