විදුලි සැර වැදීමකින් බත්තුළුඔය විදුහලේ උසස් පෙළ ප්‍රථමයා මරුට

විදුලි සැර වැදීමකින් ආරච්චිකට්ටුව, බත්තුළුඔය මහා විද්‍යාලයේ මෙවර උසස් පෙළ විභාගයේ පිරිමි අංශයේ වැඩිම ප්‍රතිඵල ලැබූ සිසුවා මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ ආරච්චිකට්ටුව මුතුපන්තිය ග්‍රාමයේ පදිංචිව සිටි ඉසුරු මනෝජ් 21 නමැති අයෙකි. පසුගියදා (4) නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵලවලින් කලා අංශයෙන් සම්මාන තුනක් මේ සිසුවාට හිමිව ඇත. පෙරේදා (5) මේ සිසුවා අන්තර්ජාලය හරහා ප්‍රතිඵල බලා පසුව සිය ඉස්සන් පොකුණට ගොස් ඇති අතර, එහිදී විදුලි සැර වැදී ඇත. පසුව ප්‍රදේශවාසීන් එක්ව මේ දරුවා හලාවත මහා රෝහලට රැගෙන පැමිණ ඇති අතර, එහිදී මියගොස් තිබේ. උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු මේ දරුවා ඉස්සන් වගාවක් ආරම්භ කර ඇති අතර, ඉන් එක් පොකුණක් ඔහු විසින් තනිවද තවත් පොකුණු දෙකක් හවුලේද කර ඇත. මේ දරුවාගේ මවුපියන් නැති අතර, ඔහු රැක බලා ගෙන ඇත්තේද මවගේ සහෝදරියකි.

මේ දරුවා ඉගෙන ගැනීමට අමතරව ක්‍රීඩාද කර ඇති අතර, විද්‍යාලය නියෝජනය කරමින් පළාත් මට්ටම දක්වා ගිය විද්‍යාලයේ කැපී පෙනෙන සිසුවකු වූ බව බත්තුළුඔය මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. බී. එස්. කේ. තිසේරා මහතා පැවසීය. මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (6) හලාවත මහ රෝහලේදී කර ඇත.

Related posts

Leave a Comment