“මිල්කා ගෙහානි” ටෝකියෝ ඔලිම්පික් වරම් ලබයි

කලාත්මක රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි ද සිල්වා මේ වසරේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබූ දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත් වීමට සමත් වෙයි. ඇය ටෝකියෝ ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබූ බව ඔලිම්පික් නිල වෙබ් අඩවිය ඊයේ තහවුරු කළේය. එම නිල වෙබ් අඩවියට අනුව ඉන්දියාවේ ප්‍රනාති නායක්ට වඩා මිල්කා ආසියානු මහ­ාද්වීපයේ අංක එකේ ස්ථානයට පත්ව ඇත. ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළට මේ වන විටත් අශ්වාරෝහක ඉසවුව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන් සුදුසුකම් ලබා සිටී. ශ්‍රී ලංකා සම්භවයක් ඇති ඇය ජර්මනියේ පදිංචිව සිටින අතර, එහි සිට තරගවලට එක් වෙමින් ඔලිම්පික් පරිසාදන මට්ටමට ළඟා වූවාය. මේ අනුව ඔලිම්පික් ඉතිහාසයේ මුල්වරට ජිම්නාස්ටික් හා අශ්වාරෝහක ක්‍රීඩාවලින් ඔලිම්පික් වරම් ශ්‍රී ලංකාවට හිමි වීම විශේෂත්වයකි.

කලාත්මක රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ආසියා කලාපයෙන් දැනට සුදුසුකම් ලබාගත් පළමු ක්‍රීඩිකාව මිල්කා ගෙහානි වන අතර, දෙවනියා බවට ඉන්දියාවේ ප්‍රනාති නායක් පත්ව සිටී. කෙසේ වුවද ජූනි මාසය දක්වා ඔලිම්පික් පරිසාධන මට්ටමට ළඟා වීමේ අවස්ථා ඇති හෙයින් අන්තර්ජාතික ජිම්නාස්ටික් සම්මේලනය මිල්කා ගෙහානිගේ ඔලිම්පික් සුදුසුකම තහවුරු කරනුයේ එළැඹෙන ජූනි මාසයේදීය. ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් කපිල ජීවන්ත මහතා පැවසුවේ තම සංගමයට හෝ ජාතික ඔලිම්පික් කමිටුවට මේ පිළිබඳ නිල දැනුම්දීම තවමත් සිදු කොට නැති බවයි. එහෙත් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියමිත පරිදි පැවැත්වුව හොත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවට සියයට සියයක අවස්ථාව ඇති බව ජීවන්ත මහතා ‘දිනමිණ’ට පැවසීය.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6කට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සහයෝගිතා ශිෂ්‍යත්ව අරමුදලින් මසකට රුපියල් ලක්ෂ 8 බැගින් ශිෂ්‍යත්ව හිමි කර දීමට ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු යෙදූ අතර, මිල්කා ගෙහානිට ද මසකට අමෙරිකානු ඩොලර් 670 බැගින් ශිෂ්‍යත්වයක් ලබා ජපානයේ වැඩි දුර පුහුණුවට යොමු කෙරිණි. එදා එම ශිෂ්‍යත්ව ප්‍රදානයත් සමඟ ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා මිල්කා ගෙහානිගේ දක්ෂතා දැක ඇය අනාගතයේ නියත වශයෙන්ම ඔලිම්පික් ක්‍රීඩිකාවක් වනු ඇතැයි අනාවැකි පළ කළේය.

“ඉතිහාසයේ කිසිදු දිනෙක ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් අපේ කවුරුත් ඔලිම්පික් ගිහින් නෑ. ඒ වගේම අශ්වාරෝහක ක්‍රීඩිකාවක් ඔලිම්පික් සුදුසුකම් ලබා නෑ. ජාතික ඔලිම්පික් කමිටුව හැටියට සතුටට පත් වෙනවා මේ ක්‍රීඩා දෙකේම ඔලිම්පික් සිහින සැබෑ කරගන්නට මැදිහත්වීමට හැකිවීම ගැන” මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසීය. හිටපු ජිම්නාස්ටික් ජාතික ශූර හා ජිම්නාස්ටික් පුහුණුකරු රංජන තරංග යටතේ පුහුණුව ලැබූ ඇය මුලින්ම පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන්ද අනතුරුව පිළියන්දල මධ්‍ය විද්‍යාලයෙන් හා කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. වසර 2019දී ඇයගේ ක්‍රීඩා ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ අතර, ජපානයේ පුහුණුවකට අවතීර්ණ වීම එම කැපී පෙණෙන සිදු වීමය. ඇගේ ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමේ ප්‍රධානතම මාවත එම ගමන් මඟ විය. අන්තර්ජාතික තරග කිහිපයකදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ගෙහානි 2011දී කනිෂ්ඨ ජාතික ජිම්නාස්ටික් ශූරිය වූවාය. අවස්ථා දෙකකදී ජාතික ශූරිය වීමට සමත් වූ ඇය පසුව 2016 දී පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උලෙළේ 6 වැනි ස්ථානයට පත් විය.

Related posts

Leave a Comment