දේශගුණික ආපදා අවදානම

  • වර්ෂ 2018 දී IPCC ය නිකුත් කළ වාර්තාවකට අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් 1.5 කින් ඉහළ යාම යනු දරුණු මට්ටමින් සාගර ජල මට්ටම ඉහළ යාමට හේතුවකි. එය වෙරළබඩ ප්‍රදේශ මෙන්ම ඇතැම් රාජ්‍ය ද දැඩි අනතුරකට මුහුණපාන තත්ත්වයකි. උෂ්ණත්වය සෙල්සියස් 2 කින් ඉහළ ගිය හොත් ලොව ඇති කොරල්වලින් 99%ක්ම මිය යාමට එය හේතුවකි.

අමෙරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉකුත් වසරේදී ඇති වූ දරුණු ළැව්ගිනි හේතුවෙන් පාරිසරිකව සිදු වූ ව්‍යසනය බරපතළය. සියරා, නෙවාඩා හි වර්ග සැතපුම් 270ක් පමණ ගින්නෙන් විනාශයට පත් විය. ඉන් මාස ගණනාවකට පසු තවමත් කැලිෆෝනියාවේ Sequoia ජාතික උද්‍යානයේ අතරින් පතර දුම් රොටු ඉහළට නඟිනු දැක්වෙන සේයාරූ නිකුත් වී තිබේ. ඉන් පැහැදිලි වන කාරණයක් වන්නේ වනෝද්‍යානය ආශ්‍රිතව තවමත් දැඩි වියළි තත්ත්වයක් පවතින බවය. ඉකුත් වසරේ අගෝස්තුවේදී හටගත් මෙම දරුණු ළැව්ගිනි තත්ත්වය පාලනය කිරීමට මාස 5ක් පමණ ගත විය. ප්‍රාන්තයේ ජල අවශ්‍යතාව සපුරාගැනීමේදී ඉන් 1/3ක් පමණ සැපයෙන්නේ මෙම කඳුකර බිම් ආශ්‍රිතවය. අප්‍රේල් 1 වැනිදා වන විට එම ප්‍රදේශ විශාල වශයෙන් හිමෙන් වැසී තිබුණු අතර, ජල සම්පත් දෙපාර්තමේන්තුව ගණනය කර තිබුණේ එහි 59%ක් ජලය අන්තර්ගත බවය.

අමෙරිකාවේ වැඩිම ජනගහනය සහිත ප්‍රාන්තය ද වන කැලිෆෝනියාවේ මෙම ළැව්ගිනි හේතුවෙන් විනාශයට පත් බිම් ප්‍රමාණය වර්ග සැතපුම් 6500ක් පමණ වේ. මේ වර්ෂයේදී ද මෙවැනි තත්ත්වයකදී අමෙරිකාවේ බටහිර ප්‍රදේශවල මීටත් වැඩි බිම් ප්‍රමාණයක් ළැව්ගිනිවල බලපෑමට හසුවනු ඇතැයි පුරෝකථනය කර තිබේ. රටෙන් අඩකට වැඩි ප්‍රමාණයක වියළි කාලගුණික තත්ත්වයක් පැවැතීම මඟින් පෙනෙන්නේ ඇති විය හැකි විනාශයක තරමය. මේ දක්වාම එවැනි කාලගුණයක් පැවතීම හේතුවෙන් තණබිම් අලුතෙන් වැවී නොමැත. එය ප්‍රදේශයේ ළැව්ගිනි තත්ත්වයකදී අවදානම යම් ප්‍රමාණයකට අඩු කිරීමට හේතුවන බව උද්‍යාන බලධාරීන් පෙන්වා දී තිබේ.

වායුගෝලයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය සීමා කිරීම සම්බන්ධයෙන් ලෝකයේ රටවල් සහතික කර ඇතත්, එය ගෝලීය උෂ්ණත්වය ඉහළ නැඟීම සෙල්සියස් අංශක 1.5ට අඩුවෙන් පවත්වා ගැනීමට ප්‍රමාණවත් නොවන බව නවතම වාර්තාවකින් හෙළිදරවු කර තිබේ. The Climate Action Tracker නම් ස්වාධීන විද්‍යාඥයන් සමූහයක් මඟින් එම වාර්තාව සම්පාදනය කෙරිණි. ඉකුත් සඳුදා මේ වාර්තාව නිකුත්වූයේ, අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ලෝක නායකයන් සමඟ පරිසර සමුළුවකට එක් වී සතියක් ගත වූ තැනය. ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් යම් වර්ධනයක් පෙන්නුම් කර ඇතත් අවශ්‍ය මට්ටමට ළඟා වීමට තවමත් ලෝකයට හැකි වී නොමැති බව ඉන් පැහැදිලි වේ.

  • කාලගුණ වාර්තාව

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) මඟින් 2018 පැරිස් සමුළුවේදී එකඟ වූ මට්ටම සෙල්සියස් අංශක 1.5ය. එම එකඟතාව ඇති කර ගැනුණේ කාර්මික විප්ලවයට පෙර ලෝකයේ තත්ත්වය ගැන සැලකිල්ලට ගනිමිනි. දැනටමත් එම මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.2කින් උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ සංවිධානය ඉකුත් මාසයේදී නිකුත් කළ වාර්තාවක් මඟින් මේ තත්ත්වය පිළිබඳ අවධානය යොමුකර ඇත. මිහිතලයේ මතුපිට උෂ්ණත්වය ඉහළයාම සෙල්සියස් අංශක 1.5ට අඩුවෙන් තබාගැනීම තවමත් කළ හැකි දෙයක් ‍බව Climate Action Tracker වාර්තාව මඟින් පෙන්වා දේ. එහෙත් එය කළ හැකි වන්නේ ලොව සෑම රාජ්‍යයක්ම ඒ වෙනුවෙන් ක්‍රියාකරන්නේ නම් පමණි. එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි ලොව ඇතැම් රටවල සිදු වන යටිතල පහසුකම් නැංවීමේ ව්‍යාපෘති පැරිස් ඉලක්ක සපුරා ගැනීමට බාධාවකි. නව ගල් අඟුරු බලාගාර ස්වභාවික ගෑස් විදුලි උත්පාදනය සඳහා යොදාගැනීම ඉහළ යාම සහ කාර්යක්ෂමතාව අඩු රථවාහන ඇතැම් රටවල තවමත් ධාවනය වෙමින් තිබීම වැනි කාරණා නිදසුන් ලෙස දැක්විය හැකිය.

ගෝලීය උෂ්ණත්වය ඉහළ නැඟීම දැනටමත් ඇතිකර ඇති අහිතකර බලපෑම් විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වී තිබේ. දැඩි නියඟය, දරුණු ළැව්ගිනි ආදිය එම බලපෑම් සඳහා නිදසුන්ය. ඇරිසෝනා විශ්වවිද්‍යාලය 2020 දී සිදු කළ අධ්‍යනයකින් පැහැදිලි වූ පරිදි, මේ මට්ටමෙන් උෂ්ණත්වය ඉහළ නැඟීම සිදු වුව හොත් ඉදිරි වසර 50 ඇතුළත මිහිතලයේ ඇති සියලු ගස් වැල් සහ සතුන්ගෙන් 1/3ක් වඳ වී යාමේ තර්ජනයට ලක් වනු ඇත. වර්ෂ 2018 දී IPCC ය නිකුත් කළ වාර්තාවකට අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් 1.5 කින් ඉහළ යාම යනු දරුණු මට්ටමින් සාගර ජල මට්ටම ඉහළ යාමට හේතුවකි. එය වෙරළබඩ ප්‍රදේශ මෙන්ම ඇතැම් රාජ්‍ය ද දැඩි අනතුරකට මුහුණපාන තත්ත්වයකි. උෂ්ණත්වය සෙල්සියස් 2 කින් ඉහළ ගිය හොත් ලොව ඇති කොරල්වලින් 99%ක්ම මිය යාමට එය හේතුවකි. ගොඩබිම ඇති පරිසර පද්ධති අතරින් 13%ක්ම අනතුරට මුහුණපෑම ද ඉන් සිදු වනු ඇත. දශක 2ක් තුළ අයිස් නොමැති ආක්ටික් කලාපයක් නිර්මාණය වීම ද එවැනි පරිසරයක සිදු වෙතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඇන්ටාක්ටිකා ප්‍රදේශයේ දැවැන්ත හිමකඳු හා හිමපර දිය වීම ශීඝ්‍රයෙන් හා නැවැත්විය නොහැකි අන්දමින් සිදු වීම, දැනට ගෝලීය උෂ්ණත්වය වැඩි වී ඇති මට්ටම අනුව දැකිය හැකි වෙතැයි Nature සඟරාව මඟින් මෑතදී ප්‍රකාශයට පත් කළ නවතම පර්යේෂණ වාර්තාවක් මඟින් ද අනතුරු අඟවා ඇත. පැරිස් සමුළුවේදී එකඟ වූ මට්ටම කරා ළඟාවීමට නොහැකි වුව හොත් වසර 2060 වන විට ඇන්ටාක්ටික් හි හිමවලින් තොර තත්ත්වයක් ඇති වීමට තරම් බලපෑ හැකි බව ඉන් පෙන්වාදී තිබේ. ප්‍රතිඵලය වෙරළාසන්න ප්‍රදේශ මෙන්ම ඇතැම් රටවලට දැඩි බලපෑම් ඇතිවීමය. ධ්‍රැව ප්‍රදේශවල දේශගුණික වෙනස්කම් පිළිබඳ විශේෂඥයකු වන මැසචුසෙට්ස් සරසවියේ පර්යේෂක රොබර්ට් ඩිකොන්ටෝ ද එම පර්යේෂණ කණ්ඩාය‍ෙම් සාමාජිකයෙකි. ඔහු පෙන්වා‍ දෙන්නේ, ධ්‍රැව ප්‍රදේශවල හිම වැස්ම දියවී යාම පාලනය කර ගත නොහැකි නම්, එමඟින් ඇති විය හැකි බලපෑම් ආපසු හැරවීමට ද අප අපොහොසත් වනු ඇත. එම කලාපවල හිම තැන්පත් වීම දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදු වූ ක්‍රියාවලියක් වන අතර, මිහිතලය උණුසුම් වීම පාලනය කරගත හැකි නම් ක්‍රමයෙන් එය යළිත් යථා තත්ත්වයට පත් වනු ඇත.

  • අනාගත ලෝකය

ඒ සඳහා කාර්මීකරණයට පෙර පැවති මට්ටම කරා ළඟාවීමට ලෝකය සමත් විය යුතුය. බොහෝ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි එම මට්ටම කරා වර්තමානයේ රටවල් අනුගමනය කරමින් ඇති ප්‍රතිපත්ති යටතේ නම්, ළඟාවිය හැකි වනු ඇත්තේ වසර 2100 දීය. මේ සියවස අග වන විට සාගර මට්ටම සෙ. මී. 17 – සෙ. මී. 21ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැඟීමට මේ තත්ත්වය හේතුවනු ඇත. පැරිස් සමුළුවේදී එකඟ වූ මට්ටමට මේ තත්ත්වය පාලනය කරගත හැකි නම් සියවස අග වන විට සාගර මට්ටම ඉහළ නඟිනු ඇත්තේ සෙ. මී. 6 – සෙ. මී. 11ත් අතර ප්‍රමාණයකිනි. කාර්මික විප්ලවයට පෙර පැවති තත්ත්වයට වඩා සෙල්සියස් 2ක් අඩු මට්ටමක් කරා ළඟාවීම පැරිස් සමුළුවේදී ඇතිකරගත් එකඟතාවයේ අපේක්ෂාවය.

Thawaites ග්ලැසියරය හෙවත් ලෝක විනාශ ග්ලැසියරය යනුවෙන් ප්‍රකට ග්ලැසියරය බ්‍රිතාන්‍ය තරම් විශාල වන අතර, සාගරයේ කි. මී. 1ක් තරම් ගැඹුරකට විහිදී ඇත. විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි එය දිය වීම සිදු වුව හොත් මුහුදු මට්ටම සෙ. මී. 65 කින් ඉහළ නඟිනු ඇත. ඒසා විශාල ප්‍රමාණයකින් ධ්‍රැව ප්‍රදේශවල අයිස් දිය වීමේ ප්‍රතිඵල ශතවර්ෂ ගණනාවක් පුරා දැනෙනු ඇතැයි ඔවුහු පවසති. ඩිකොන්ටෝ පවසන පරිදි වසර 2100ට පසු එය මහා විනාශකාරී විය හැකිය. කාබන් විමෝචනය පාලනය කර ගැනීමට අප අසමත් වන්නේ නම්, එහි ප්‍රතිඵලයක් ලෙස වසර 2200 වන විට සාගර මට්ටම මීටර් 5 කින් පමණ ඉහළ නැඟීම සිදු වනු ඇත. ලන්ඩනයේ කිංග්ස් කොලීජියේ පර්යේෂකයන් කණ්ඩායමක් සිදු කළ අධ්‍යයනයක ප්‍රතිඵල ද ඉකුත් බදාදා Nature සඟරාවේ පළ විය. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් ඉහළ ගිය හොත් වසර 2100 දක්වා සාගර මට්ටම සෑම වර්ෂයකදීම සෙ.මී. 0.5 බැගින් ඉහළ නඟිනු ඇති බව ඉන් දැක් වේ.

මේ කිසිදු වාර්තාවක් අවසන් නිගමන හෝ අවසානාත්මක වාක්‍ය ලෙස සැලකීමට වඩා එළැඹිය හැකි අන්තරාය පිළිබඳ කෙරෙන සහේතුක අනතුරු ඇඟවීම් ලෙස සැලකීම සුදුසුය. පර්යේෂණ තවදුරටත් සිදු වෙමින් පවතී. දැනට ප්‍රකාශ වී ඇති කාරණා අනුව එතරම් ව්‍යසනයක් සිදු වනු ඇති සිතා ගැනීමට අපොහොසත්ව එය අමතක කිරීම නොව නොපමාව ක්‍රියාත්මක විය යුතු තැනකට ලෝකය ගමන් කර ඇති බව පැහැදිලි වේ. සාගර මට්ටම ඉහළ යා හැකි සෙන්ටිමීටර හෝ මීටර් ගණන එහා මෙහා වීම විය හැකිය. ලෝකය කළ යුතු වන්නේ ඒ ගැන ප්‍රශ්න කරමින් සිටීම හෝ ඒ කවර ප්‍රමාණයකින් දැයි වාද විවාද කරගැනීම නොව. කිසියම් අන්තරාදායක මට්ටමකින් එම ඉහළ යාම සිදු වනු හොඳාකාර පැහැදිලි පසුබිමක එය වළක්වා ගැනීමට පෙළගැසීමය. එහිදී දැනටමත් කර ඇති කැපකිරීම් අවතක්සේරු කිරීමක් සිදු නොවිය යුතුය. ඒ සමඟම මීට වඩා වේගයෙන් හා ජවයෙන් ක්‍රියාත්මක විය යුතු බව වටහා ගැනීම ද විය යුතුය.

පසුගිය කාලයේදී අමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත් විය. බලවත් ජාතීන් කර අරින්නේ නම් ලෝකයට මෙම ඉලක්ක සපුරා ගැනීම දුෂ්කරය. අනාගත ලෝකයේ පැවැත්ම වෙනුවෙන් වර්තමාන පරම්පරා ඉටු කළ යුතු මෙහෙවරක් තිබේ. වසංගතයකින් දැඩි ලෙස පීඩා විඳිමින් සිටින අතර, මෙතෙක් ගිය අති ධාවනකාරී මෙන්ම මිහිතලයට දරාගත නොහැකි ගමන දැන්වත් නතර කළ යුතු නැති දැයි මේ කවුරුත් කල්පනා කළ යුතුය.

Related posts

Leave a Comment