විද්‍යාව ළං කරගෙන අන්තිමේදී මොකද වුණේ

විද්‍යාව සරළව කෙටියෙන් විග්‍රහ කර බැලුවහොත් මිනිසා නොදන්නා සියලුම දේවල් පරීක්ෂා කර බැලීමත් ඒ අතරින් හසුකරගත් දැනුම හා අවබෝධයත් විද්‍යාව ලෙස හඳුන්වයි. උණුසුම නිසා වාෂ්ප වූ ජලය අහසට නැඟ යළි වර්ෂාව ලෙස පොළොවට පතිත වන බව දැන ගැනීම හා පැවසීම විද්‍යාව වේ. එමෙන්ම මිනිසාට වැලඳෙන බොහෝ රෝග වයිරස් බැක්ටීරියා ආදි ක්ෂුද්‍ර ජීවීන් හේතු කොටගෙන සිදු වන්නක් බව දැන ගැනීම හා ඒවාට පිළියම් දැන ගැනීම ද විද්‍යාව වේ. එපමණක් නොව ගහකොළ සතා සීපාවා ඇතුළු සමස්ත විශ්වයේම ආරම්භය හා පැවැත්ම පිළිබඳ සොයා ගැනීම ද විද්‍යාව වන්නේය. විද්‍යාව යන විෂය දියුණුවෙන් දියුණුවට පත් වී ඇත. අතීතයේ සිට මේ දක්වා මිනිස් සමාජයට විපුල ඵල ගෙන එමින් පවතී.

නූතන සමාජයේ විද්‍යාව දියුණුවත්ම මිනිසා පිරිහෙයි ද යන ගැටලුව වර්තමානයේ පැනනැඟුනක් නොවේ. බොහෝ අතීතයේ ද වෙනස් වීම නොපිළිගන්නා පිරිස් විද්‍යාවේ දියුණුවත් සමඟ මිනිසා පිරිහෙන බවට අනාවැකි පළ කර තිබේ. නමුත් සිදු වී ඇත්තේ බුද්ධිය වැඩි වන විට ගුණධර්ම ද වැඩි වීමය. අතීතයේ වන සතුන් ලෙස මිනී මස් බුදිමින් ජීවත් වූ මිනිසුන් වර්තමානය වන විට ශිෂ්ටසම්පන්න වී තිබෙන්නේ ද ස්වභාවධර්මයට අනුව ලෝක ජනගහනය කෙතරම් වැඩි වුව ද, ජෛව, ජලල ශිලාල සහ වායු ගෝලවල සමතුලිතතාවත් මේ තරමට පවත්වාගෙන යනු ලබන්නේ විද්‍යාව සහ ඒ ඇසුරෙන් ලත් දැනුම භාවිතයට ගැනීමත් නිසාය.

විද්‍යාව නිසා ලොවට දායාද වූ දැනුම මිල කළ නොහැකි තරම්ය. අතීතයේ පෝලියෝ වසංගතය කුඩා ළමුන් අංශභාග තත්ත්වයට පත් කර ඇත. නමුත් සෞඛ්‍ය විද්‍යා දියුණුවත් සමඟ පෝලියෝ රෝගය ලොවෙන් තුරන් කිරීමට හැකි විය. එය පිරිහීමක් නොව ආශීර්වාදයකි. තමා ලැබූ දැනුම හොර රහසේ භුක්ති විඳි මායා බන්ධකයන් සිටි යුගයකට වඩා තාක්ෂණ දැනුමෙන් ලොව ඇති තතු නිසි දැනගත් සිසු සිසුවියන් රැසක් ලොව පුරා වාසය කිරීම භාග්‍යකි. එය අධ්‍යාපන විද්‍යාවේ දියුණුවයි. මේ අනුව කල්පනා කර බලන විට මිනිසා පිරිහෙන්නේ දියුණුව නිසා නොව අවිද්‍යාව නිසාය. මිනිසා තමා හා සමාන මිනිසකුට වද හිංසා කිරීම කරනුයේ විද්‍යාත්මකව නොසිතා වනචාරීව කල්පනා කිරීම නිසාය. තම මවුපියන් අමතක කර දමා තමා ද වල්මත් වී සමාජයට පිළිලයක් වන්නේ මෝහය හෙවත් අවිද්‍යාව නිසාය. මේ අනුව විද්‍යාව දියුණු වූවාට ජීවිතයට ළඟා නොකරගන්නා තාක්කල් පුද්ගලයා පිරිහෙන බව නම් සත්‍යයකි.

Related posts

Leave a Comment