මෙහෙකාරියගේ අනුදැනුම මත වූ පැහරගැනීම

කිරුලපන පොලීසිය පවසන්නේ, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකුට අයත් කිරුළපන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී තියුණු ආයුධයක් පෙන්වා නිවැසියන් බිය ගන්වා එහි මෙහෙකාරිය පැහැරගෙන ගිය බව කියන පුද්ගලයෙකු අද (09දා) අත්අඩංගුවට ගත් බවයි. පොලීසිය වැඩි දුරටත් පවසන්නේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර පාලටුව ප්‍රදේශයේ පදිංචි (39) හැවිරිදි හිටපු විශේෂ කාර්ය බලකා සෙබළකු බවයි. මෙම පුද්ගලයා  ඉකුත් 28 දා අළුයම මැතිවරණ කොමසාරිස්වරයා නිවසේ නොමැති අවස්ථාවකදී නිවසට පැමිණ තියුණු ආයුධයක් පෙන්වා නිවැසියන්ට මරණීය තර්ජනය  කොට 42 හැවිරිදි නිවසේ මෙහෙකාරිය මෙසේ පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි. පසුව මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව මෙහෙකාරිය රැඳී සිටි නිවසේ කාමරයක් පරික්ෂා කිරීමේදී  එහි තිබූ  දුරකථන අංකයක් ඔස්සේ විමර්ශන ආරම්භ කළ පොලීස් නිලධාරීන්ට  පැහැරගෙන ගිය කාන්තාවගේ අනියම් සම්බන්ධතාවයක් පිළිබඳව තොරතුරක් අනාවරණය වූ බව පොලීසිය සදහන් කරයි.

පොලීසිය දිගින් දිගටම විමර්ශන සිදු කිරීමේදී අනාවරනය වී ඇත්තේ සැකකරු මෙහෙකාරිය සමග බොරලැස්ගමුව, මාතර සහ පාලටුව ප්‍රදේශවල නිවෙස් කිහිපයකට ගොස් ඇති බවටත් පසුව එම නිවෙස් වල හිමිකරුවන්ගෙන් ලද තොරතුරු වලට අනුව අම්බලන්තොට රුහුණු රිදීගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එහි  සැඟව සිටි මෙහෙකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි. පසුව සැකකාර යුවළගේ ඇඳුම් බෑගය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයාගේ නිවැසියන් බිය ගැන්වීමට භාවිතා කළ බවට සැක කෙරෙන උල් පිහියද පොලිසිය සොයාගෙන තිබුණි. තවදුරටත් විමර්ශනය කිරීමේදී  සැකකරු විශේෂ කාර්ය බලකායේ සේවය කොට ඉන් ඉවත්ව කිරුළපන ප්‍රදේශයට පැමිණ ත්‍රීරෝද රථ රැකියාවේ නිරතව සිටියදී මෙහෙකාරිය සමග අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අනුව මෙහෙකාරියගේ අනුදැනුම මත සැකකරු නිවසට පැමිණ නිවැසියන් බිය ගන්වා මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසේ. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු දෙදරු පියකු වන අතර පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි මෙහෙකාරියටද දරුවන් දෙදෙනකු සිටින බව පොලිසිය කියයි. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාර යුවළ අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

Leave a Comment