කොරෝනා මරණ වැඩි වීමට හේතුව රෝගීන් නිවෙස්වල සැඟවී සිටීමයි

සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ යෑමට ප්‍රධාන හේතුව රෝගය වැලඳුණු රෝගීන් ඒ බැව් සඟවා නි‍ෙවසටම වී සිටීම බව ඔවුන් පවසයි. තමන්ට රෝගය වැලඳී ඇති බව දැනගැනීමෙන් පසු බොහෝ රෝගීන් රෝහල්ගත නොවන බවත් රෝගය උත්සන්න වී මාරාන්තික තත්ත්වයට පැමිණි අවස්ථාවේ රෝහල්ගත වීම නිසා එම රෝගීන් මරණයෙන් බේරාගැනීම ඉතා අපහසු කාර්යයක් බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ඊයේ (09) පැවසුවාය. මෙම රෝගය වැලඳීමෙන් පසු දින ගණනක් යාමේදී පෙණහලු ආශ්‍රිතව කොරෝනා වයිරසය ඉතා ශ්‍රීඝ්‍රයෙන් වර්ධනය වන බවත් හුස්ම ගැනීමේ අපහසුතාව මෙන්ම නිව්මෝනියාව තත්ත්වය නිසා රෝගීන් මිය යන බව පෙන්වා දෙන වෛද්‍යවරු ජීවිත අවදානමෙන් බේරාගැනීමට නම් රෝගය උත්සන්නවීමට පෙර රෝගීන් රෝහල් ගත විය යුතු බව පෙන්වා දෙති. ඉකුත් සතිය තුළ පමණක් මෙරටින් කොරෝනා රෝගී මරණ 100කට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ නිවෙස්වලදී හෝ රෝහල්වලින් පිටත බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. ඉකුත් සතියේ මියගිය රෝගීන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් රෝහල්වලදී මිය ගිය බව පවසන සෞඛ්‍ය අංශ රෝගයට ගොදුරු වූවන් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නේ නම් ජීවිත අවදානම අඩුකර ගත හැකි බව අවධාරණය කරයි.

තවත් ගැටලුවක් බවට සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇත්තේ රෝගීන් බව හඳුනා ගත් පුද්ගලයන් සැඟව සිටීමයි. P.C.R ලබා දුන් පුද්ගලයන්ට කොරෝනා රෝගය වැලඳී ඇති බව වෛද්‍ය අංශ විසින් දැනුම් දීමෙන් පසුව එම රෝගීන් සිය ජංගම දුරකතන ක්‍රියාවිරහිත කර පදිංචි ප්‍රදේශවලින් වෙනත් ප්‍රදේශවලට පැන යන බවත් තවත් පිරිසක් සැඟවී සිටීම ගැටලු සහගත තත්ත්වයක් බව වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කීවාය. මෙම හේතුව කොරෝනා රෝගය සෘජුව ව්‍යාප්තවීමට සාධකයක් වී ඇති බවත් ජනතාව රෝගයට බිය නොවී රෝහල් වෙත පැමිණ අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම මඟින් මෙම මාරාන්තික උවදුරෙන් මිදී තව කෙනෙකු ද බේරා ගත හැකි බව වෛද්‍යවරිය කියා සිටී.

Related posts

Leave a Comment