ඉදිරි මාස දෙක ඇතුලත ශ්‍රී ලංකාවට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ගේනවා

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂණයට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ඉදිරි මාස දෙක ඇතුළත මෙරටට ගෙන එන බවයි. ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන තුනක් කඩිනමින් මෙරටට ලැබීමට නියමිත බවත් එම එන්නත් ලබා දී‍මේදී මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛතාවක් හිමි වන බවත් ඒ මහතා කීය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (09) පැවැති කොවීඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන විශේෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. එන්නත් ලබා ගැනීම සඳහා රජයට මුදල් නැතැයි ඇතැම් පාර්ශ්ව නඟන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට සරිලන පරිදි එන්නත් ලබාදීමට මැදිහත්වන බව ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කර තිබෙන බවත් හෙතෙම පැවසුවේය. එන්නත් මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් රජය සතු බවත් එන්නත් වෙනුවෙන් අත්තිකාරම් මුදල් ගෙවීමේ අවශ්‍යතාවක් මෙතක පැන නැගී නොමැති බවත් කී ඒ මහතා එන්නත් තොග කඩිනමින් ලබාදෙන බව අදාළ ආයතන මෙරටට දැනුම් දී ඇති බව ද අවධාරණය කළේය. රඹුක්වැල්ල මහතා පැවසු‍වේ, දිවයින පුරා විසිරී සිටින 7000ක් පමණ වන මාධ්‍යවේදීන්ට ද මෙම එන්නත ලබා දීමට තීරණය වී ඇතැයිද රටේ සියලු ජනතාවට එන්නත ලබාදීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වන බවයි.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සම්පූර්ණයෙන්ම රට වසා දැමීම රජයේ අපේක්ෂාව නොවන බව කී ඒ මහතා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශවල නිර්දේශ මත අවශ්‍ය පරිදි හුදලකා සහ සංචරණ සීමා පැනවීම් කරන බව ද ප්‍රකාශ කළේය. ඉන්දියාවේ සිට මෙරටට කිසිදු අයෙකු ඇතුළු කර නොගන්නා බවත් මුහුදු ආශ්‍රීතව සිදුවන සංක්‍රමණ වැලැක්වීමට අවශ්‍යය වැටලීම් සඳහා නාවික හමුදාව විශේෂ මෙහෙයුම් සිදුකරන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

Related posts

Leave a Comment