උෂාන් තිවංක ශ්‍රී ලංකා නාමය බබලවයි

උෂාන් තිවංක පෙරේරා, උස පැනීමේ පිරිමි ඉසවුවේ ශ්‍රී ලංකා වාර්තාව නැවත වරක් අලුත් කරමින් දකුණු ආසියාවේ ක්‍රීඩකයකු වාර්තා කළ හොඳම දක්ෂතාව පෙන්වීමට සමත් වෙයි. අමෙරිකාවේ ටෙක්සාස් නගරයේ ඊයේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී ඔහු එම දක්ෂතාව දැක්වීමට සමත් විය. මීටර් 2.30ක උසක් පැන උෂාන් තිවංක මෙතෙක් දකුණු ආසියාවේ උස පැනීමේ ඉසවුවේ හොඳම දක්ෂතාව සටහන් කොට ඉන්දියාවේ තෙජාස්වින් ෂන්කර් 2018දී මීටර් 2.29කින් තබා තිබූ වාර්තාව ද මකා දැමීමට සමත් විය. මෙයට මසකට පමණ පෙර අමෙරිකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර, වාර්ෂිකව පැවැති තරගාවලියේදී මීටර් 2.28ක දක්ෂතාවක් දැක්වූ උෂාන් තිවංක වසර 2005දී මංජුල කුමාර විජේසේකර කොරියාවේ ඉන්චියෝන්හිදී මීටර් 2.27කින් පිහිටුවා තිබූ උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව ද තමන් සතු කර ගත්තේය. අමෙරිකාවේ ටෙක්සාස්හි අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් ක්‍රීඩා පුහුණුවීම් සිදු කරන උෂාන් තිවංක එරට 93 වැනි ක්ලයිඩ් ලිට්ල්ෆීල්ඩ් ටෙක්සාස් රිලේස් තරගාවලියේදී වසර 16ක් පැරණි උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව එලෙස බිඳ දැමුවේය.

මේ වසරේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුවෙන් පසු වන ඔහු ඊයේ පෙරවරුවේදී අන්තර්ජාතික උස පැනීමේ ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ 64 වැනි ස්ථානයේ පසු වූ අතර, ආසියාවේ 14 වැනි ස්ථානයට පත්ව සිටියේය. ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ලෝකයේ මුල්ම ක්‍රීඩකයින් 32ක් තෝරා ගැනීමට නියමිතය. ඉදිරියේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වීම උදෙසා උෂාන් තිවංක ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, එම ශූරතාවලියට සහභාගි වීමෙන් ඔහුට අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වලට තවත් ලකුණු 20ක් ලැබී ලෝක මට්ටමේ පියවර කිහිපයක් ඉදිරියට යෑමේ අවස්ථාව උදා වනු ඇත.මේ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කරමින් ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ උෂාන් තිවංක පෙරේරාට ඔලිම්පික් සුදුසුකම් ලබා ඔලිම්පික් පදක්කමක් කරා යෑමට ශක්තිය හා ධෛර්යය ලැබීමට ප්‍රාර්ථනා එක් කරන බවය.

Related posts

Leave a Comment