දරුවන්ගේ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීමට අගමැති මහින්දගෙන් උපදෙසක්

අරලියගහ මන්දිරයේ දී පැවැති උත්සව අවස්ථාවකට එක් වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරුන් ද දරුවන්ගේ විභාග ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙන ඒමට කැපවිය යුතු බවයි. දරුවන් ඉහළ ප්‍රතිඵල පෙන්වන පාසල්වලට යොමු වීමේ ප්‍රවණතාවක් පවතින නිසා රටේ සියලු පාසල්වල ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරු තම විදුහලේ විභාග ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙන ඒමට කැප වී කටයුතු කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි. ජනප්‍රිය පාසල්වලට පමණක් යාම තවදුරටත් දරුවන්ගේ අරමුණක් නොවන බවත් ඉහළ ප්‍රතිඵල පෙන්වන විද්‍යාල වෙත දරුවන් යොමුකිරීමේ දෙමාපිය ප්‍රවණතාවක් පවතින බවත් පෙන්වා දුන් අගමැතිවරයා මෙවර උසස් පෙළ විභාගයෙන් තාක්ෂණ විෂය සඳහා ඉහළ සාමර්ථ්‍ය ලබාගත් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නවිනි රවිෂ්කා සිසුවිය සහ භානුක වික්‍රමසිංහ සිසුවා අරලියගහ මන්දිරයට පැමිණ ප්‍රතිඵල ප්‍රකාශ කළ අවස්ථාවේ අගමැතිවරයා මේ බව අවධාරණය කළේය.

නවිනි රවිෂ්කා සිසුවිය ජෛව පද්ධති තාක්ෂණ විද්‍යාව විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබාගෙන ඇති අතර භානුක වික්‍රමසිංහ සිසුවා ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ සිව්වන ස්ථානයට පත්ව තිබේ. තාක්ෂණ විෂය සඳහා සියලු පහසුකම් සහිතව ඉදිකර ඇති හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට තාක්ෂණවේදය විෂය හැදැරීම සඳහා අනුරාධපුර, කිලිනොච්චිය, නිකවැරටිය සහ රත්නපුර ආදි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙන්ම ජනප්‍රිය පාසල්වල දරුවන් ද පැමිණෙන බව විදුහල්පති එම්.ආර්.ඩී.කසුන් ගුණරත්න මහතා මෙහිදී සඳහන් කළේය. තාක්ෂණ විෂය ධාරාව ඉගැන්වීම සඳහා ආරම්භ කළ දකුණු ආසියාවේ ප්‍රථම පාසල වන්නේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය වන අතර අද වනවිට සිසු සිසුවියන් 6800ක් එහි අධ්‍යාපනය ලබන අතර ගුරුවරු 315 දෙනෙක් සේවයේ නිරතව සිටිති.

Related posts

Leave a Comment