කොරෝනා වලින් ළමයි බේරා ගන්න මම බෝට්ටුවෙන් ලංකාවට ආවා

ඉකුත් 30 වැනි දින අලුයම 34 හැවිරිදි කාන්තාවක සිය දරු දෙදෙනා සහ තවත් කාන්තාවක සමඟ චෙන්නායි කුප්පම් ප්‍රදේශයේ සිට ධීවර යාත්‍රාවකින් තලෙයිමන්නාරම මුහුදු තීරයට පැමිණ තිබිනි. ඇය මෙසේ පැමිණියේ ඇයගේ වසය අවුරුදු 13ක් සහ 4ක් වු දරුවන් දෙදෙනා සහ තවත් සම වයසේ කාන්තාවක් ද සමගය.

සිදු කළ විමර්ශනවලින් අනාවරණය වි ඇත්තේ මෙම පිරිසත් ලෙයිමන්නාරම මුහුදු තීරයට පැමිණ මන්නාරම දක්වා බස් රථයකින් පැමිණ නැවතත් මන්නාරමෙන් පුත්තලමට මගී ප්‍රවාහන බස් රථයකින් පැමිණ ඇති බවටයි. ඔවුන් සමඟ පැමිණි අනෙක් කාන්තාව මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයට ගොස් ඇති බව . සිය දරුවන් සමඟ පැමිණි කාන්තාව ඇයගේ මව පදිංචිව සිටින පුත්තලම වේප්පමඩුව ප්‍රදේශයට පැමිණි තිබේ. ඇයගේ පැමිණීම සම්බන්ධව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. සුරේෂ් මහතාට පෞද්ගලිකව ලැබුණු තොරතුරක් මත පුත්තලම පොලිසියට තොරතුරු දැන්වීමෙන් පසු ඉකුත් 03 වැනි දින ඇය දරු දෙදෙනා සහ ඇයට රැකවරණය දුන් බව කියන ඇයගේ මව අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට යොමු කිරීමට කටයුතු කළේය. අනතුරුව ඇය මව සහ දරුවන් ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය. මෙහිදී සෞඛ්‍ය නීති රීතිවලට අනුව අධිකරණය නියෝග මත සෞඛ්‍ය අංශ ‍ඔවුන් සිය නිවෙසේම නිරෝධායනය කිරීමට කටයුතු සිදු කරල ලදී.

එලෙස ඉන්දියාව චෙන්නායි කුප්පම් ප්‍රදේශයේ සිට පැමිණියේ මුන්සායි රම්මුගන් රවායි නමැති කාන්තාවයි. ඇය පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචි ව සිටි කාන්තාවක්. ඇය වයස අවුරුදු 17දී මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ දන්නා හඳුනන තරුණයකු සමඟ ඇති කර ගත් ආදර සම්බන්ධතාවක් මත විවාහ විය. ඔහු නමින් ප්‍රගීත්ය. වසරක පමණ කාලයක් ඔහු සමඟ ජීවත් වූ රවායි එවකට පැවති යුද වාතාවරණය හේතුවෙන් ඉන්දියාවට යෑමට තීරණය කරන්නේ ඇයගේ අදහසකට අනුවයි. එහිදී ඔවුන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව යෑමට කටයුතු කරයි. ඔවුන් කුප්පම් නගරයේ සම්භාණ්ඩ ආශ්‍රිත කුඩා කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යමින් ජීවත් විය.

මේ අතරතුර ඔවුන්ගේ කැදැල්ලට පිරිමි දරුවන් දෙදෙනෙක් එක් වේ. පසුව සම්භාණ්ඩ කර්මාන්තයේ අලෙවිය අඩුවීමත් සමඟ එය අතහැර දමා පැරණි වාහන නවීකරණය කරමින් අලෙවි කිරීමේ කර්මාන්තයක් ආරම්භ කළේය. ලොවම වනසමින් මිනිස් ජීවිත බිලි ගනිමින් ආරම්භ වු කොරෝනා වසංගතය ඉන්දියාව ගිල ගනිද්දී සියලු ආදායම් මාර්ගවලට වැට බැදුණි. වයිරසය ශීඝ්‍රයෙන් පැතිරි යමින් තිබියදී එයින් බේරීමට කිසිදු විටෙක ඉඩක් නොමැති බව තේරුම් ගත් ඇය තම දරුවන් සමඟ නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් නැවත ලංකාවට යමුයි කියා ප්‍රගීත්ට යෝජනා කළාය. ඒ දරුවන්ගේ අනාගතය ගැන සිතාය. එහෙත් ඇයගේ යෝජනාවට ප්‍රගීත් විරුද්ධ විය. අවසානයේ ඇය කෙසේ හෝ ලංකාවට පැමිණෙන බව තරයේ සිතා ගත්තාය. ඊට අවශ්‍ය වට වටපිට ක්‍රමයෙන් නිර්මාණය කරමින් ලද අවස්ථාවක ඇය දැන හැඳින ගත් පුද්ගලයකුගේ මාර්ගයෙන් මුහුදු මාර්ගය ඔස්සේ දරුවන් සමඟ යාත්‍රාවකින් පැමිණීමට අවස්ථාව උදා විය. ඒ අනුව ඇය සහ දරුවන් තිදෙනා රැගෙන යෑමට ඉන්දීය රුපියල් 20,000ක් තරව්කරුට දීමට සිදු විය. අවසානයේ ඉකුත් 30 වැනි දින රාත්‍රියේ ජීවිත අවදානම ද නොතකා ඇය දරුවන් සමඟ යාත්‍රාවෙන් තලෙයිමන්නාරම මුහුදු තීරයට පැමිණියේය. ඉන් අනතුරුව සැතපුම් තුනක් පමණ දුර ගෙවා බස් රථයක නැඟී පුත්තලම සිය මවගේ නිවෙසට පැමිණිමට හැකි විය.

“දවසින් දවස ඉන්දියාවේ වයිරයිරසය ශීඝ්‍රයෙන් පැතිරෙනවා. අපි ඉන්න ප්‍රදේශයේ ගොඩක් කට්ටිය අසනීප වුණා. සමහර අය මැරුණා. මට මේ තත්ත්වය බලාගෙන ඉන්න බැරි නිසා තමයි මහත්තයාට යෝජනා කළේ ලංකාවට එමු කියලා. එයා කැමති වුණේ නෑ. මම ගොඩක් දරුවන් ගැන හිතුවා. ඒ නිසා තමයි මොනවා වුණත් කමක් නෑ කියලා මම ලංකාවට එන්න තීරණය කළේ. අපි ආ බෝට්ටුවේ තව එක් කෙනෙක් ආවා. එයා කොච්චිකඩේට ගියේ. හැබැයි එයා බෝට්ටුවට කීයක් දුන්නාද කියලා මම දන්නේ නෑ. මගෙන් ඉන්දියානු රුපියල් විසිදාහක් ඉල්ලුවා. අපිව තලෙයිමන්නාරම් වෙරළේ පාළු තැනක දාලා ඒ බෝට්ටුව ගියා. පස්සේ අපි කිලෝ මීටර් තුනක් විතර ඇවිදගෙන ඇවිල්ලා මන්නාරමෙන් වවුනියාව බස් එකෙන් ඇවිල්ලා ඊට පස්සේ අනුරාධපුර බස් එකේ පුත්තලමට ආවා. පුත්තලමෙන් ත්‍රීවිල් එකෙන් අම්මලාගෙ ගෙදරට ආවට පස්සෙ මට ආරංචි වුණා පොලිසියෙන් අපිව හොයනවා කියලා. මම ගොඩක් බය වුණා. පස්සෙ ගේ ළඟ ත්‍රීවීල් එකට කතා කරලා හලාවතට ගිහිල්ලා බස් එකෙන් කොළඹට ගියා. මම දන්න කෙනකුගේ ගෙදරට. එහෙ ඉන්න කොට අක්කා දුර දුරකතනයෙන් කතා කරලා කිවුවා පොලිසියෙන් හොයනවා එහෙ ඉන්න එපා බය නැතුව එන්න කියලා. ඉතින් මම ඕනෑ දෙයක් වෙන්න කියලා ගෙදර ආවා. ඊට පස්සේ පොලිසියෙන් අත්අඩංගුවට අරන් අපිව අධිකරණයට ඉදිරිපත් කළා. අපට ඇප දුන්නා. නිවෙසේ නිරෝධායනය වෙන්න කියලා උසාවියෙන් නියෝග කළා. අපි ඒ අනුව කටයුතු කරනවා. මම ඉන්දියාවේ ඉඳන් ආවේ හොරකම් කරලා නෙවෙයි. මිනී මරලා නොවෙයි. කොරෝනාවෙන් මගේ දරුවෝ දෙන්න බේරාගන්න වෙන ක්‍රමයක් තිබුණේ නෑ. ඒ නිසා තමයි මම බෝට්ටුවේ ආවේ. මම එදා ප්‍රගීත් එක්ක එයාර්පෝට් එකෙන් ගියාට පස්සෙ අවුරුදු 17කට පස්සෙ තමයි ලංකාවට ආවේ.’’ ඇය මුහුණ දුන් ත්‍රාසජනක අත්දැකීම් එසේ විස්තර කර සිටියේය.

Related posts

Leave a Comment