ඉන්දීය ක්‍රීඩිකාවගේ බොරුව තහවුරු වෙයි

ශ්‍රී ලංකාවේ මැදි දුර ධාවන ශූරී ගයන්තිකා අබේරත්නට ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ලෝකඩ පදක්කම හිමි වෙයි. එම ශූරතාවලියේ රන් පදක්කම්ලාභී ඉන්දියාවේ ගෝමති මාරිමුත්තු තහනම් උත්තේජක ගත් බවට නැගුණු චෝදනාව මත නියම වූ ක්‍රීඩා තහනමට එරෙහිව ඇය විසින් ඉදිරිපත් කළ අභියාචනය ක්‍රීඩාව සම්බන්ධ බේරුම්කාර අධිකරණය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගයන්තිකාට මේ වාසනාව හිමිව ඇත. මීටර 800 අවසන් තරගයේදී ගයන්තිකා සිව්වැනි ස්ථානයට පත්වූ අතර, දැන් ඇය ආසියානු මලල ක්‍රීඩා සංගමයෙන් ලෝකඩ පදක්කම බලාපොරොත්තුවෙන් සිටී. නවතම තත්ත්වය අනුව රිදී පදක්කම දිනා සිටි චීනයේ චූන්යාට රන් පදක්කම හිමිවන අතර, ලෝකඩ පදක්කම දිනාගත් කසකස්තානයේ මගරීටා මුකස්හේවාට රිදී පදක්කම හිමි වේ.

කටාරයේ කලීෆා අන්තර්ජාතික ක්‍රීඩා සංකීර්ණයේ 2019දී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 ඉසවුව ජයගත් ඉන්දියාවේ ගෝමතිට පිරිනැමුණු රන් පදක්කම ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් අහිමි කළ අතර, සිවු අවුරුදු තහනමක් ලෝක මලල ක්‍රීඩා විනය විනිශ්චය සභාව විසින් පසුගිය වසරේ මැයි 26 නියම කළේය. එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇය ක්‍රීඩාව සම්බන්ධ බේරුම්කාර අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළාය. කෙසේ වෙතත්, ලූසෑන්හි පිහිටි ක්‍රීඩාව සම්බන්ධ බේරුම්කාර අධිකරණයේ කටයුතු කරන බහරේනයේ මහාචාර්ය ජෑන් පෝල්සන් මහතා තීන්දු කළේ ගෝමති තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් වැරදිකරුවකු වන අතර, පළමු නඩු විභාග මණ්ඩලයේ නියෝගය පරිදි 2019 මැයි 17 සිට 2023 මැයි 16 දක්වා සිවු අවුරුදු තහනමට ලක්වීම අනිවාර්ය බවයි.

2019 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට පෙර ගෝමති සම්බන්ධයන් සිදු කළ තහනම් උත්තේජක පරීක්ෂණ 3ක් අසමත් වී තිබූ අතර, ඒ සියල්ල ඉන්දියාවේ පැවැති තරගවලදී වීම විශේෂත්වයකි. ඇයගේ අභියාචනයේදී, කියා තිබුණේ, ඇය ඩිම්බකෝෂ සම්බන්ධ රෝගයකින් පීඩා විඳි බවත්, එය 2019 ජනවාරි මාසයේදී ‘ස්වයංසිද්ධ’ ගබ්සාවක් සමඟ ඒකාබද්ධ වී එවකට අනාවරණය නොවූ ගැබ් ගැනීමක් නිසා අසාමාන්‍ය ලෙස නොරොන්ඩ්‍රොස්ටෙරෝන් තහනම් උත්තේජ සංඝටකයක් නිර්මාණය වන්නට හැකි බවය. එබැවින් තහනම් උත්තේජක පරීක්ෂණයේදී නුසුදුසු හා පිළිගත නොහැකි ප්‍රතිඵලයක් ලැබී ඇති බවට ඇය තර්ක කොට තිබිණි. නමුත් ඇයගේ මේ සියලු මතභේද ක්‍රීඩාව සම්බන්ධ බේරුම්කාර මණ්ඩලය විසින් බැහැර කර තිබේ.

Related posts

Leave a Comment