“Port City” එක චීන කොලනියක් ද..?

ශ්‍රී ලංකාවේ සිතියම වෙනස් කරමින් ගාලු මුවදොර මුහුදු ප්‍රදේශය ගොඩ කරමින් රටට එකතු වූ භූමි ප්‍රමාණයත් සමඟ අපේ රටේ වර්ග ප්‍රමාණය තවදුරටත් වර්ග කි.මී. 25610ක් නොවේ. එයට තවත් වර්ග කි.මී.2.69ක් එකතු විය යුතුය. එම හෙක්ටයාර 269ක් හෙවත් අක්කර 664ක භූමි ප්‍රදේශයේ ඉදි වන කොළඹ වරාය නගරය කොළඹ නගරයේම දිගුවක් ලෙස ගොඩනැඟෙමින් පවතී. මූල්‍ය හා සේවා දියුණු කරමින් ප්‍රමුඛ වශයෙන්ම වාණිජ කලාපයක් ලෙස නිර්මාණය වන වරාය නගරය ‘චීන කොලනියක්’ බව පවසමින් රටේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල වී ඇති බවට දේශපාලන අඬෝවැඩියාවක්’ පසුගිය දිනවල ඇසිණි. මෙරට දේශපාලන සංස්කෘතියට අරක් ගත් පටු අවස්ථාවාදී හා කුහක දේශපාලනයේ පැතිකඩක් වරාය නගරයට එරෙහිව එල්ල වූ එම විරෝධයත් සමඟ දිස් වේ. ඇත්තටම වරාය නගරය චීන කොලනියක් ද? මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුර පැහැදිලිය. සරලය. ඒ ‘නැත’ යන්නය. එසේ නම්, ඊට එරෙහිව මිථ්‍යාව පතුර වන විපක්ෂ කණ්ඩායම් එවැනි හඬක් නඟන්නේ එය නොදැන ද? යන්න තවත් ප්‍රශ්නයකි. ඊට දිය හැකි පිළිතුර ද ‘නැත’ යන්නය. ඒ බව දැන සිටිය ද පෙර කී දේශපාලන භාවිතයෙන් නිදහස් වීමට ඇති නොහැකියාව ඊට හේතුවය. වරාය නගරය ඉදි වන භූමිය ශ්‍රී ලංකාව සතුය. එය චීනය අල්ලා ගන්නේ නැත.

වසර දහස් ගණනක ඉතිහාසයේ චීනය ලොව කිසිදු රටක් ආක්‍රමණය කර නැත. එබැවින් චීනයේ සැබෑ මිතුරකු වන ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමේ කිසිදු වුවමනාවක් චීනයට තිබිය නොහැකිය. දෙරට අතර සබඳතා 4 වැනි සියවස පමණ සිට ඓතිහාසිකව විකාශනය වෙමින් පවතී. ෆාහියන් භික්ෂුවගේ සංචාරය එම සබඳතාවලට මුල පිරීමක් බඳුය. එවක් පටන් බුදුදහම මුල්කොට ගනිමින් ද, සංස්කෘතික, වෙළෙඳ ආදි සබඳතා ගොඩනඟා ගනිමින් ද එම සබඳතා සමීපව හා ශක්තිමත්ව ගොඩනැගිණි. එදා ද ශ්‍රී ලංකාව සේද මාවතේ වැදගත් රාජ්‍යයකි. නව සමුදුරු සේද මාවත දිගහැරෙන්නේ ද භූ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් එම මිතුරු රාජ්‍ය ද සම්බන්ධ කර ගනිමිනි. අමෙරිකාව ඇතුළු රටවල් නොරිස්සන ඔවුන්ට රිදුම් දෙන කාරණය ඇත්තේ මෙකී භූ දේශපාලන සාධක සමඟය. ලොව රටවල් ගණනාවක අමෙරිකානු යුද කඳවුරු පිහිටා ඇතත් කිසිදු රටක චීන යුද කඳවුරු පිහිටා නැත. ශ්‍රී ලංකා චීන සබඳතාවන්ගේ නව පරිච්ඡේදයක් පෙරළෙන්නේ 1950 දශකයේය. 1952 දී ශ්‍රී ලංකාව හා චිනය අතර රබර්, සහල් ගිවිසුමට අස්සන් තබන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවා ඇතිවී නොතිබිණි. මේ ගිවිසුම දෙරටටම වාසිදායක විය. චිනයට අත්‍යවශ්‍යව තිබූ රබර් සැපයීමට ශ්‍රී ලංකාව එකඟ වීම එරට ඉහළින් අගය කළේ මෙරටට වාසිදායක පසුබිමක් නිර්මාණය කරමිනි.

  • පැරණි සබඳතා

1956 දී එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක අගමැතිවරයා බලයට පත් වීමත් සමඟ 1957 දී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරැඹිණි. එවක් පටන් ද්වීපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත් විය. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ පාලන යුගවලදී එය තවත් පෙරට ගෙන යෑම සිදු විය. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බලයට පත් වූ සෑම රජයක්ම පාහේ චීනය සමඟ හොඳ සබඳතාවන් පවත්වා ඇත. ඒ අතුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වමේ ආණ්ඩු බලයට පත් වූ විට ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත් වූ අයුරු පැහැදිලිය. බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව (BMICH) එම මිත්‍රත්වයේ සංකේතයකි. ක්‍රමයෙන් දෙරට අතර වෙළෙඳ හා ආර්ථික සබඳතා පුළුල් වූ අතර මෙරට යටිතල පහසුකම් නැංවීම සඳහා චීනය විශාල ලෙස උපකාරී වී තිබේ.

තිස් අවුරුද්දක් තිස්සේ ඇදෙමින් ගිය බෙදුම්වාදී යුද්ධය නිමාවට පත් කරමින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය තීරණාත්මකව පරාජය කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු ලෙස දුන් සහාය හා ආධාර බෙහෙවින් වැදගත්ය. ඉන් නොනැවතී බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවට එල්ල වූ අභූත චෝදනා හමුවේ චීනය ශ්‍රී ලංකාවත් සමඟ සිට ගන්නේ දැවැන්ත ශක්තියක් ලබා දෙමිනි.2005 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා චින සබඳතාවන්ගේ තවත් වැදගත් පරිච්ඡේදයක් ඇරැඹි බව පැහැදිලිය. පෙර කී සහායට අමතරව යටිතල පහසුකම් නැංවීමේ හා මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා වරාය බලශක්ති, ප්‍රවාහන ආදී ‍ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ චීනය සහාය දෙමින් සිටී. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇරැඹෙන්නේ ද මේ අවධියේය. වරාය නගරය ඉදි වී‍මත් සමඟ ශ්‍රී ලංකාව චීන කොලනියක් වීමේ කතාවට සම්බන්ධ කරමින් එය මෙරට නීතිය ක්‍රියාත්මක නොවන බව, මෙරට ආයෝජනයන්ට ඉඩ ප්‍රස්තා නැති බව, ශ්‍රී ලාංකිකයන්ට රැකියා නොලැබෙන බව, එම භූමියට ශ්‍රී ලාංකිකයන්ට ඇතුළු විය නොහැකි බවට ආදි වශයෙන් තවත් ප්‍රචාර ගණනාවක්ම පතුරුවා හැර ඇත. එම ප්‍රචාරවල සත්‍ය, අසත්‍යතාව සැබෑ තතු විමසා බැලීමෙන් දැන ගත හැකිය.

කොළඹ වරාය නගරයේ බලපැවැත්වෙන්නේ ද අපට බලපවත්වන නීතියමය. වරාය නගර කොමිෂන් පනත රැගෙන ඒමෙන් ආයෝජකයන් සඳහා වඩාත් පහසු හා හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කෙරේ. එය අපේ රටේ ස්වෛරීභාවයට, නීති පද්ධතියට බලපෑම් කරන කාරණයක් නොවේ. කෙසේ වුවද එමපමණට සංශෝධන සිදුකිරීම අවශ්‍ය ද යන්න ඒ පිළිබඳ අධිකරණ තීන්දුව මඟින් දැන ගත හැකිය. වරාය නගරයේ පළමුවන ආ‍යෝජනය සිදු කර ඇත්තේ ශ්‍රී ලාංකික සමාගමකි. මෙරට ආයෝජකයන් සඳහා එහි ඉඩ ප්‍රස්ථා තිබේ. එසේම එහි ආයෝජන සිදු කරන්නේ චීනය පමණක්මත් නොවේ. සෙසු රටවල ආයෝජකයන් සඳහා ද එය විවෘතය. ඒ බව ලෝකයේ වෙනත් මෙවැනි කලාප පිළිබඳ විමසන විට පැහැදිලි කර ගත හැකිය. දැනට ප්‍රකාශ වී ඇති පරිදි, වරාය නගරය මඟින් උත්පාදනය වනු ඇති ඍජු රැකියා අවස්ථා ප්‍රමාණ්‍ය 80,000ක් පමණය වේ. වක්‍ර රැකියා ගෙන ඒමෙන් තුන් හතර ගුණයක් වන එම ඍජු රැකියා අවස්ථා ද ශ්‍රී ලාංකිකයන් සඳහා විවෘතය. රැකියා උත්පාදනය කර ගැනීමට අප සමත් විය යුතුය. දේශපාලන කුහකයන් ලෙස ක්‍රියා කිරීම වෙනුවට සිදු විය යුත්තේ එම රැකියා කිරීමට අවශ්‍ය දක්ෂතා සුදුසුකම් – නිපුණතාව සහිත අයට ඊට ඉඩ ප්‍රස්තා ඇති බව පෙන්වා දීමය. වරාය නගර භූමියට ශ්‍රී ලාංකිකයන්ට ඇතුළු වීමටවත් නොහැකි බවට ගෙන යන ප්‍රචාරවලට තවත් මාස කිහිපයකින් ශ්‍රී ලාංකිකයන් විසින්ම පිළිතුරු දෙනු ඇත. ඒ එහි ගොස් සැබෑ තතු දැක බලා ගැනීමෙන් අනතුරුවයි.

  • පොදු පහසුකම්

දැනටමත් යාත්‍රා අංගණය වැනි ස්ථානවල මංගල උත්සව සඳහා පෙර රූගත කිරීම්, සාද ආදිය පැවත්වී තිබේ. එවැනි අවස්ථා සඳහා ඉහළ ඉල්ලුමක් ද ඇත. වරාය නගරයට අයත් සමස්ත භූමි ප්‍රමාණයෙන් 1/3ක් පමණ වෙන් කෙරෙනු ඇත්තේද හරිත උද්‍යාන ආදී පොදු පහසුකම් වෙනුවෙනි. ඒ සියල්ල ශ්‍රී ලාංකිකයන් සඳහා ද විවෘතය. තවමත් ලෝක බලවතා වන්නේ අමෙරිකාව වුවද නැඟී එන ලෝක ආර්ථික බලවතා ලෙස චීනය අමෙරිකාව ඉක්මවා යනු ඇති බව ඉතා පැහැදිලිය. මිල දී ගැනීමේ හැකියාව අනුව දැනටමත් ඉදිරියෙන් සිටින්නේ චීනයයි. කොවිඩ් – 19 වසංගතය සාර්ථක පාලනය කිරීමෙන් පසුව නැවතත් චීනය ඉදිරියට ගමන් කිරීමට පටන්ගෙන ඇත. චීන ප්‍රතිවාදීන් අග්නිදිග ආසියාතික රටවල චීන ආයෝජන සම්බන්ධයෙන් මවා ඇති චිත්‍රය නිවැරදි නොවන බව සංඛ්‍යා දත්ත මඟින්ම පැහැදිලි කර ගත හැකිය.

ශ්‍රී ලංකාව චීන ණය උගුලක සිරව ඇතැයි නඟන ප්‍රවාදය ද ඒ ඔස්සේ පැහැදිලි කර ගත හැකිය. මේ වන විට ශ්‍රී ලංකාව වඩාත් උනන්දු වෙමින් සිටින්නේ චීනයෙන් ණය ගැනීමට වඩා ආයෝජන ආකර්ෂණය කර ගැනීම වෙනුවෙනි. එසේ වුවද දෙරට අතර වෙළෙඳ හිඟයේ පරතරය විශාලය. මෙරට අපනයන සඳහා චීනයේ සුවිසල් වෙළෙඳපොළ අවස්ථා සපයා ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග ගත යුතුය. එම වෙළෙඳ සබඳතා ගොඩනඟා ගැනීම කෙරෙහි මෙරට නිෂ්පාදකයන් දිරිගැන්විය යුතුය. වරාය නගරය සම්පූර්ණයෙන් ගොඩනැඟී තිබෙනු ඇත්තේ තවත් දශක දෙකක්වත් ගත වීමත් සමඟය. ඒ වන විට, චීනය ලෝක ආර්ථික බලවතා ලෙස නැඟී සිටින්නට ද බොහෝ ඉඩ තිබේ. චීනයේ උපාය මාර්ගික හා දේශපාලනික අභිලාෂ පිළිබඳ අන්‍යෝන්‍ය ‍අවබෝධයකින් යුතුව මෙම සමීප බලවතා මිතුරා සමඟ සබඳතා වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇති අතර කලාපයේ අවංක මිතුරකු ලෙස අපගේ මිත්‍රත්වය හා සහයෝගය චීනය ද අගය කරනු ඇත.

Related posts

Leave a Comment