විකල්ප ක්‍රම මඟින් පාරිභෝගිකයන්ට සහන රැසක් දෙනවා

  • ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති, ඉංජිනේරු විජිත හේරත් මහතා සමඟ කරන ලද සාකච්ඡාවකි.

අපේ ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නේ පුනර්ජනනීය බලශක්තිය. ජනාධිපතිතුමා නිරන්තරයෙන් කියන්නේ පුනර්ජනනීය බලශක්තියට යා යුතුයි කියලා. පුනර්ජනනීය බලශක්තියේ ප්‍රධාන ගැටලු දෙකක් තියනවා. සූර්ය බලශක්තියෙන් විදුලිය නිපදවිය හැකි වන්නේ නිශ්චිත කාලයකදී පමණයි. රාත්‍රියට මෙන්ම දහවල් කාලයේ වලාකුළකින් ආවරණය වුණොත් විදුලිය නිපදවා ගැනීම සීමා වෙනවා. ඉල්ලුමට අනුව විදුලිය හැම මොහොතකම නිපදවිය යුතු නිසා ඒ සඳහා සූදානමින් සිටිය යුතුයි.

  • විදුලිය අලෙවි කරන්නේ විදුලිය නිෂ්පාදනය කරන  පිරිවැයට වඩා අඩු මුදලකට
  • තවම විදුලිය නැති 100,000කට ආසන්න  පිරිසක් සිටිනවා
  • සමෘද්ධිලාභී පවුල් සඳහා විදුලිය  ගැනීමට ණය පහසුකම් දී තිබෙනවා
  • කොරෝනා සමයේ බිලියන 7ක  විදුලි සහනයක් දුන්නා
  • ඔබ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගන්නා විට මේ ආයතනයේ පැවැති තත්ත්වය ගැන සඳහන් කළොත් ?

මේ ආණ්ඩුව පිහිටුවන්න පෙර පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපතිවරයා ලෙස මමත් අපේ කණ්ඩායමත් ඉංජිනේරු තාක්ෂණයට සම්බන්ධ ආයතන දියුණු කරන්නේ කොහොමද කියන දේ අධ්‍යයනය කරලා ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබුණා. විදුලිබල මණ්ඩලය ලාභ නොලබන ආයතනයක් විදිහට තමයි සඳහන් වෙලා තිබුණේ. ඒකට හේතු රාශියක් අපට හඳුනා ගන්නට හැකි වුණා. විදුලිය නිෂ්පාදනය කිරීමට යන පිරිවැය මේ විශාල අලාභයක් ලැබීමට හේතුව. 2019 වසරේදී අපේ අලාභය රුපියල් බිලියන 92ක්. විදුලිබල මණ්ඩලය වසරකට විදුලිය කිලෝවොට් පැය බිලියන 16ක් පමණ උත්පාදනය කරනවා. රුපියල් 23ක් විතර එක ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැය වෙනවා. ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රු.17ක් පමණ වෙනවා. ඒ අනුව රුපියල් 6.50ක් විතර එක ඒකකයකට පාඩු වෙනවා. විදුලිය අලෙවි කරන්නේ විදුලිය නිෂ්පාදනය කරන පිරිවැයට වඩා අඩු මුදලකට. ඒකක 30ට වඩා අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයන්ගෙන් විදුලි ඒකකයකට අය කරන්නේ රුපියල් 3.50කට පමණ. එවැනි පාරිභෝගිකයන් ලක්ෂ 12 ට වැඩියි. ඒකක 30ත් 60ත් අතර පරිභෝජනය කරන පිරිසගෙන් අය කරන්නේ රුපියල් 5.85යි. එවැනි පාරිභෝගිකයන් ලක්ෂ 13ක් පමණ වෙනවා. 2014 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොරොච්චෝලේ බලාගාරය ඉදි කරල විදුලි බිල සියයට 25කින් අඩු කළා. ඒ අනුව 2015 වසරේ කෝටි 2000ක් ලාභ ලැබුවා.

විදුලිය ක්‍රම කිහිපයකින් නිෂ්පාදනය කරනවා. මුළු විදුලියෙන් ජල විදුලිය සියයට 25ක්, ජලවිදුලි නිෂ්පාදන පිරිවැය අඩුයි. ගල් අඟුරුවලින් සියයට 30ත් 35ත් අතර විදුලිය එකතු වෙනවා. සියයට 30ක් විතර ඩීසල්වලින් නිපදවන විදුලිය මිලට ගන්නවා. මේ විදුලිය තමයි මිල වැඩිම. විදුලිබල මණ්ඩලය පාඩු වෙන්න හේතුව ඩීසල් කීවොත් හරි. හදිසි මිලදී ගැනීම්වලදී ඩීසල්වලින් නිෂ්පාදිත විදුලි ඒකකයක් රුපියල් 30ක් පමණ වෙනවා. ඒකක බිලියන 5ක් පමණ ඩිසල්වලින් නිපදවන විදුලිය. රුපියල් 20ක විතර පාඩුවකට තමයි එම විදුලි ඒකකයක් අලෙවි කරන්නෙ. ඊට අමතරව සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති එනම්, මිනි හයිඩොලික, සූර්ය බලශක්තිය සහ සුළං බලය යොදාගෙන විදුලිය සියයට 10ක් ප්‍රධාන විදුලි ධාරාවට එකතු කර ගන්නවා.

  • විදුලි පිරිවැය අඩුකර ගත හැකි ක්‍රම වේද හඳුනාගෙන තිබෙනවාද?

ඩීසල් වෙනුවට අඩු වියදම් බලාගාර පිහිටුවමින් විදුලිය නිෂ්පාදනය කරන එක තමයි විදුලි පිරිවැය අඩු කර ගත හැකි ප්‍රධානම ක්‍රමය වන්නේ. අඩු වියදම් බලාගාර ලෙස ජලවිදුලි බලාගාරවලින් උමා ඔය, බෝඩ්ලන්ඩ් හා මොරගොල්ල බලාගාර සාදා නිම කළේ නෑ පහුගිය ආණ්ඩුව. උමා ඔය අවුරුදු පහක් පමණක් මොරගොල්ල බලාගාරය අවුරුදු තුනක් පමණක් සාදා නිම කිරීමට ප්‍රමාදයි. මේ ප්‍රමාදය නිසා ජාතික විදුලිබල පද්ධතිය අලුතින් විදුලිය එකතු කර ගැනීම ප්‍රමාද වෙලා. එය විශාල පාඩුවක් විදුලිබල මණ්ඩලයට. අඩු වියදම් බලාගාර ලෙස සාම්පූර්වල අඩු ගල් අඟුරු බලාගාරයක් හැදීමට නියමිතව තිබුණා. යහපාලන ආණ්ඩුව ඒ ව්‍යාපෘතිය නැවැත්වුවා. එතන මෙගා වොට් 500ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු වීම වැළකුණා. ප්‍රතිපත්ති තීන්දු ගැනීමේ දුර්වලතාවය නිසා සිදු වුණේ විශාල පාඩුවක්.

විදුලි ඉල්ලුම් වාර්ෂිකව 6% පමණ වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වීමට සාපේක්ෂව නව විදුලි බලාගාර ස්ථාපනය කළ යුතු වෙනවා. එසේ නොකළොත් හදිසි මිලදී ගැනීම් කළ යුතු වෙනවා. පසුගිය ආණ්ඩුව නව විදුලි බලාගාර ස්ථාපනය නොකර ඩීසල් බලාගාර ගෙනාවේ. ඒ අනුව විශාල වියදමක් වැය වෙනවා ඩීසල්වලින් නිෂ්පාදනය කරන විදුලිය මිල දී ගන්න. ඒ නිසා තමයි බිලියන කෝටි 200 ලාභ ලබපු ආයතනයක් කෝටි 9200ක් පාඩු ලබන ආයතනයක් වුණේ. ඒ අනුව අපේ ප්‍රධාන ඉලක්කය ඩීසල් බලාගාර භාවිතය නැවැත්වීම. ඩීසල්වලින් විදුලිය නිපදවල කවදාවත් විදුලිබල මණ්ඩලයට ලාභ ලබන්න බෑ.

  • LNG විදුලි සැපයුම ගැන නව කතා මාතෘකාවක් කරළියට ඇවිත් තිබෙනවා නේ ද?

පාඩුව අවම කර ගන්න ඊළඟ හොඳම විකල්පය ද්‍රව ස්වභාවික වායුවලින් (LNG) විදුලිය නිපදවීම. LNG පිළිබඳ පසුගිය අවුරුදු 10 පුරාවට සාකච්ඡා කරල තියනවා. නමුත් ඒ කතාව විතරයි. වැඩ නෑ. මේ ආණ්ඩුව පත් වුණාට පසුව LNG සැපයුමට පළමු ටෙන්ඩරය ගිය මාසේ කැඳෙව්වා. අපි බලාපොරොත්තු වෙනවා තව මාස 06 කින් පමණ ඉදිකිරීම් ආරම්භ කරන්න. ඒවගේම 2024 LNG සැපයුම ලබා දෙන්නට.

  • ගල්අඟුරු බලාගාරයක් සමඟ පරිසර දූෂණයක් සිදු වෙනවා කියලා සමාජයේ කතිකාවතක් තිබුණා නේ ද?

පරිසරයට අපි ආදරෙයි. නමුත් ඔය කතිකාවත පිටුපස ඉන්නේ ඩීසල් විදුලි බලාගාරවලින් ආදායම් උපයන අය වෙන්න පුළුවන්. ගල් අඟුරුවලින් වගේම තමයි ඩීසල්වලිනුත් ඒ පරිසර හානිය වෙන්නේ. හැබැයි ඩීසල්වල පිරිවැය වැඩියි ගල් අඟුරුවලට සාපේක්ෂව. අපට වෙන විකල්පයක් මේ මොහොතේ නෑ. ගල් අඟුරුවලින් එක ඒකකයක් නිෂ්පාදනයට රු. 11ක් පමණ වැයවෙනවා. ඩීසල් වලට සාපේක්ෂව රුපියල් 26ක වෙනසක්. ගල් අඟුරු බලාගාරය නොතිබුණා නම් මේ වන විට දවසකට පැය 8ක් විදුලිය විසන්ධි කරන්න වෙනවා. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ පාඩුව කෝටි 20 000ක් පමණ වෙන්න තිබුණා.

  • පුනර්ජනනීය බලශක්තිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් සඳහන් වෙලා තිබුණා?

අපේ ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නේ පුනර්ජනනීය බලශක්තිය. ජනාධිපතිතුමා නිරන්තරයෙන් කියන්නේ පුනර්ජනනීය බලශක්තියට යා යුතුයි කියලා. පුනර්ජනනීය බලශක්තියේ ප්‍රධාන ගැටලු දෙකක් තියනවා. සූර්ය බලශක්තියෙන් විදුලිය නිපදවිය හැකි වන්නේ නිශ්චිත කාලයකදී පමණයි. රාත්‍රියට මෙන්ම දහවල් කාලයේ වලාකුළකින් ආවරණය වුණොත් විදුලිය නිපදවා ගැනීම සීමා වෙනවා. ඉල්ලුමට අනුව විදුලිය හැම මොහොතකම නිපදවිය යුතු නිසා ඒ සඳහා සූදානමින් සිටිය යුතුයි. විදුලිය ගබඩාකරණය සහ තාක්ෂණය ජය ගැනීමයි අපේ අරමුණ. ඒ සඳහා සාධනීය පියවර කිහිපයක් තබා අවසන්. ඒ අතර තම්බපවනී සුළං බලාගාරය ස්ථාපනය කළා. කොරෝනා සමයෙත් එහි වැඩකටයුතු කළා. ඒ සඳහා මූලිකත්වය ගත්තේ බැසිල් රාජපක්ෂ මහතා. මන්නාරම් දූපත, පූනරින් ආදී සුළං කලාපවල විදුලි බලාගාර ස්ථාපනය කිරීමට කටයුතු සූදානම්. ගමට බලාගාරයක් ව්‍යාපෘතිය යටතේ කිලෝවොට් 75ක බලාගාර 7000ක් පිහිටුවීමට නියමිතයි. පළමුවැනි බලාගාර 800 සඳහා ටෙන්ඩරය කැඳවලා තියෙන්නේ. උමා ඔය බලාගාරය මේ වසරේ විවෘත කිරීමට නියමිතයි. මෙගාවොට් 300ක ගෑස් පවර් බලාගාරක් පිහිටුවීමටත් සූදානම්. බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරය මේ වසරේ අගෝස්තුවල විවෘත කරනවා.

  • ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරික්ත සේවකයින් සිටිනවා කියල විශාල චෝදනාවක් තිබෙනවා නේ ද?

පසුගිය ආණ්ඩු කාලයේ අසාමාන්‍ය විදියට සේවකයින් බඳවාගෙන තිබුණා. 7000ක් පමණ බඳවා ගෙන තිබුණා. නමුත් වර්තමාන ඇම­ැතිවරයා ඒක සේවකයකුවත් බඳවා ගෙන නෑ. දේශපාලන දැක්මක් ඇති නායකත්වය පරිපාලන ලේකම්වරයාගේ දායකත්වය මෙන්ම ආයතනයේ නිලධාරීන්ගේ දැක්මක්. කොරෝනා සමයේ බිලියන 7ක විදුලිය සහනයක් දුන්නා. තෙල් මිල අඩු විමේ සහනය හිමි වීම, හොඳ වර්ෂාවක් ලැබීම, හදිසි මිලදී ගැනීම් නොකිරීම, නොරොච්චෝලේ වැඩි උත්පාදනයක් කිරීම වැනි කාරණ නිසා ගිය වසරේ සියයට 40න් විදුලිබල මණ්ඩලයේ අලාභය අඩු වුණා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. බිලියන 92ක්ව තිබූ අලාභය බිලියන 62 කට අඩුවුණා. ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය, මේ ව්‍යාපෘති ඉක්මන් කිරීම LED බල්බ් බෙදා දීම, CEB CARE APP, ඒකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන අතර ඇති ඇප්වලින් හොඳම ඇප් එකට හිමි සම්මානය හිමි වුණා.

  • රටේ සැමට විදුලිය ලබා දීම වෙනුවෙන් ගෙන ඇති පියවර මොනවාද?

අපේ රටේ තවම විදුලිය නැති 100 000කට ආසන්න පිරිසක් සිටිනවා. ඔවුන්ට විදුලිය දී අවසන් කිරීම මේ වසරේ අපේ ඉලක්කය වන්නේ. ඒ යටතේ “දැයට එළිය” ව්‍යාපෘතිය යටතේ අඩු ආදායම්ලාභීන් 60 000 ට නොමිලේ විදුලිය දීම පළමු වැනි පියවර වන්නේ. සමෘද්ධිලාභී නිවෙස්වලට විදුලිය දීම සඳහා මේ වන විටත් විදුලිබල මණ්ඩලයේ කාර්මික නිලධාරීන් විසින් පවා එම නිවෙස් වයරින් කරපු අවස්ථා තිබෙනවා. තව තවත් සමෘද්ධිලාභී පවුල් සඳහා විදුලිය ලබා ගැනීමට ණය පහසුකම් දි තිබෙනවා. මේ වන විට “දැයට එළිය” වැඩසටහන යටතේ පවුල් 15000 පමණ නොමිලේ විදුලිය ලබා දී තිබෙනවා.

Related posts

Leave a Comment