රටේ බදු ප‍්‍රතිපත්තිය හැදිලා තියෙන්නේ ධනවත් සමාගම් සතුටු කරන්න

ශ‍්‍රී ලංකාවේ ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් රාජ්‍ය ප‍්‍රතිපත්තියම කණපිට හැරවිය යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (5) පැවසීය.
 
වත්මන් ව්‍යුහය ඇතුළේ ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්නවලට විසඳුම් නැතැයි ද පැවසූ ජයගොඩ මහතා රටේ බදු ප‍්‍රතිපත්තිය පවා සැකසී ඇත්තේ ධනවත් සමාගම් සතුටු කිරීමට යැයි ද කීවේය.
 
 සමාගම්වලට තිබූ බදු සියයට පනහක් පසුගිය අයවැයෙන් අඩු කළ බවත් සාමාන්‍ය ජනතාවට බලපාන භාණ්ඩ හා සේවා මත පනවන බද්ද වැඩි කළ බවත් ජයගොඩ මහතා සඳහන් කළේය.
 
 ‘කොවිඞ් 19’ හමුවේ ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් මෙරට පමණක් නොව ලෝකයේම මහා ධනකුවේරයන් ළඟ ඇති ‘සල්ලි කඳු’ හෙල්ලිය යුතු බව ද ඒ සඳහා රාජ්‍ය ප‍්‍රතිපත්ති වෙනස් කළ යුතු බව ද හෙතෙම කීවේය. ධනකුවේරයන් ගොඩගසා ගෙන ඇත්තේ වැඩකරන මිනිස්සුන්ගේ ශ‍්‍රමයට අයත් ධනය බවත් එම ධනය සමාජ සන්තක කළ යුතු බවත් හෙතෙම පැවසීය. නමුත් වත්මන් රාජ්‍ය ප‍්‍රතිපත්ති ඇත්තේ එවැනි මාවතක නොව ධන කුවේරයන් රකින්න යැයි ද ඔහු කීවේය.
 
 ජයගොඩ මහතා මෙසේ ද කීවේය.
 
 ලංකාවේ කොරෝනා සම්බන්ධයෙන් දිනකට පරීක්ෂණ දහතුන් දහසක් කළාම ආසාදිතයන් අටසියයක් පමණ වාර්තා වෙනවා. ප‍්‍රතිශතයක් හැටියට ගත්තොත් ඒක සියයට පහක් හයක් විතර. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා එවැනි ප‍්‍රතිශතයක් කියන්නේ භයානක පැතිරීමක් කියලා. වසංගතයෙන් මිනිස්සු බේර ගන්නයි, ආර්ථිකය දුවවන්නයි දෙකම බෑ. මිනිස්සුන් මැරෙන්න ඉඩ හැර ආර්ථිකය දුවවන එක වැරදියි. ඒ නිසා පසුගිය වසරවල ප‍්‍රකෝටි ගණන් ලාභ ඉපයූ ධන කුවේරයන්ගේ මුදල් අරගෙන ජනතාව බේරා ගන්න යෙදවිය යුතුයි. ඒත් ලෝකයේම රාජ්‍ය ප‍්‍රතිපත්ති තියෙන්නේ ජනතාව පැත්තේ නෙවෙයි, ධන කුවේරයන්ගේ පැත්තේයි. ලංකාවේ ගත්තොත් හාල් මිලේ තත්ත්වය හොඳ උදාහරණයක්. සම්බා කිලෝව රුපියල් එකසිය පහ පැනලා. නාඩු කිලෝව රු. අනූහයක් විතර වෙනවා. 2019 වසරට වඩා 2020 වසරේ වී නිෂ්පාදනය වැඩියි. 2019ට සාපේක්‍ෂව වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ දොළහක අතිරික්තයක් තියනවා. එහෙම තියෙද්දිත් එදාට වඩා මෙදා හාල් මිල වැඩිවෙන්නේ නිසි විදියට ඒවා බෙදාහැරීමේ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් නැති නිසයි. රාජ්‍ය ප‍්‍රතිපත්තිය ජනතාවාදී නොවන නිසායි. අනිත් ක්ෂේත‍්‍රවලත් එහෙමයි. ඒ නිසා රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න නම් රාජ්‍ය ප‍්‍රතිපත්ති කණපිට හැරවිය යුතුයි.

Related posts

Leave a Comment