මත්තලට පැමිණි ගුවන් යානයක් හදිසි පරීක්ෂාවට

සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් මත්තල, රාජපක්ෂ අනතර්ජාතික ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානාවක් හදිසි පරීක්ෂාවකට ලක්කර තිබේ. ගුවන්සේවා ක්ෂේත්‍රයේ යහ පැවැත්ම රඳා පවතිනුයේ එහි ආරක්ෂාව සහ නිරුපද්‍රිතතාව (Security & Safety) මත වන අතර, එම නිසා එම අංශ දෙක නිරතුරුවම නියාමනයට ලක් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බවත්, එහි වගකීම භාරව ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට බවත් එම අධිකාරිය පෙන්වා දෙයි. වත්මන් කොවිඩ් තත්ත්වය හමුවේ ගුවන් ප්‍රවාහන කර්මාන්තය පවත්වාගෙන යෑම අභියෝගයක් වූවද එය හමුවේ ගුවන්සේවා මෙහෙයුම් කටයුතු නිසි ප්‍රමිතීන් යටතේ පවත්වාගෙන යෑමේ ජාතික මෙහෙවර වෙනුවෙන් දැඩි කැපවීමකින් යුතුව සිවිල් ගුවන්සේවා පරික්ෂකවරුන් ක්‍රියා කරයි.

කසකස්තානයේ සිට ඔස්ට්‍රේලියාව බලා පියාසර කරමින් තිබූ ඔස්ට්‍රේලියානු CGGAviation සමාගමට අයත් ලියාපදිංචි අංක VH-ZKG දරන Cessna 208B මාදිලියේ ගුවන් යානාව මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත තාක්ෂණික නැවතුමක් සහ කාර්යමණ්ඩල විවේක ගැන්වීමක් වෙනුවෙන් පැමිණි අතර, ඒ අනුව එම යානාව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ, ගුවන්සේවා පරික්ෂකවරුන්ගේ හදිසි සෝදිසි කිරීමකට ලක් විය. මෙම හදිසි සෝදිසි කිරීමේ දී, නිසි ගුවන්සේවා ප්‍රමිතීන් ආරක්ෂා කරගනිමින් සෞඛ්‍ය අංශ හඳුන්වා දී ඇති කොවිඩ් ව්‍යාප්ති පාලන වැඩසටහනට අනුගත වෙමින් එම ගුවන් කාර්යමණ්ඩලය කටයුතු කරන බවද, අනුමත උපකරණ පමණක් රැගෙන ගුවන් යානාව ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයේ පියාසර කළ බවද තහවුරු වී තිබේ.

සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමිය අබේවික්‍රම මහතාගේ උපදෙස් මත සිවිල් ගුවන්සේවා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන් ආරක්ෂක, ගුවන් යෝග්‍යතා, ගුවන් සංචරණ සහ ගුවන් මෙහෙයුම් යන අංශයන් නියෝජනය වන පරිදි, ගුවන් යානාව හදිසි සෝදිසි කිරීම සඳහා එක්වූ එරංග දසනායක, ඉසුරු වෙන්ඩකෝන්, දනුල ජයරත්න, ඉසුරු සරත්චන්ද්‍ර සහ කෞතිෂා කරුණාරත්න යන සිවිල් ගුවන්සේවා පරික්ෂකවරුන් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් එම සෝදිසි කිරීම සිදුකර තිබෙන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කියා සිටී.

Related posts

Leave a Comment