ජූලි මාසයේ ඉන්දීය ක්‍රිකට් පිල ලංකාවට එන්නේ කෝලි සහ ෂර්මා නැතුවලු

එළැඹෙන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය ක්‍රිකට් පිල ලංකාවට එන්නේ නායක විරාත් කෝලි සහ උප නායක රෝහිත් ෂර්මා නොමැතිව බව ස්ථීර වෙයි. එහිදී ඔවුන් එක්දින තරග 3කට හා විස්සයි20 තරග 5කට ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කොට ඇත. ශිකර් ධවාන්, හාඩික් පාණ්ඩ්‍යා, බුවනේශ්වර් කුමාර්, දීපක් චහාර්, යුස්වේන්ද්‍ර චහාල්, රාහුල් තෙවේටියා, දෙවුදුත් පඩිකාල්, ෂෙර්යාස් අයියර් හා චේතාන් සකාරියා වැනි ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකා සංචාරයට එක්කරන බව ඉන්දීය ක්‍රිකට් සභාපති සෞරව් ගංගුලි මහතා ඉන්දීය මාධ්‍ය වෙත ඊයේ අනාවරණය කර ඇත. නායක විරාත් කෝලි සහ උප නායක රෝහිත් ෂර්මා ශ්‍රී ලංකා සංචාරයට එක් නොවන්නේ ඉන්දීය පිල එංගලන්තයට යෑමේදී දැඩි නිරෝධායන නීති පිළිපැදීමට එකඟවී ඇති බැවිනි. ඉන්දීය පිලේ එංගලන්ත සංචාරය ලබන ජුනි මාසයේ ආරම්භ වන අතර එහිදී අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට නවසීලන්තය සමග මුහුණ දෙන අතර අනතුරුව එංගලන්තය සමග තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ කිරීමට නියමිත වේ.

එබැවින් ඉන්දීය පිලේ එංගලන්ත සංචාරයට එක්වන ටෙස්ට් සංචිතයේ කිසිදු ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකා සංචාරයට එක්වීමේ අවස්ථා උදා නොවේ.

“ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සුදු බෝල ක්‍රිකට් තරගාවලියට වෙනම කණ්ඩායමක් නම් කරනවා. එය වෙනස් පැත්තක් වෙයි. එංගලන්තයට යන කිසිදු ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකා සංචාරයට එක්වන්න බෑ. මේ තරගාවලියේදී අවම වශයෙන් විස්සයි 20 අන්තර්ජාතික තරග 5 ක් එක්දින තරග 3ක් පවත්වන්න සූදානම්. අපගේ සියලුම ඉහළ ක්‍රීඩකයින් එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා සුදානම් වෙනවා. ජූලි මාසය තුළ එක්දින තරග කිසිවක් අපට නෑ. ඒ නිසා ජූලි මාසය ශ්‍රී ලංකා සංචාරයේදී හොඳින් භාවිතා කළ හැකිය” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් සභාපති සෞරව් ගංගුලි මහතා ඉන්දීය මාධ්‍ය වෙත පැහැදිලි කර තිබිණි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි පැවැත්වීමේදී ඉතා විශාල ආදායමක් රටවල් දෙකම ලබා ගන්නා හෙයින් මෙම සංචාරය ඉතා වැදගත් වේ. ඉන්දියානු කණ්ඩායමේ සෑම ශ්‍රී ලංකා සංචාරයකදීම වැඩිම අනුග්‍රහකයන් පිරිසක් ආකර්ශනයවීමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබී ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පසුගිය වසරේ ජූනි මාසයේදී එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබූ අතර එම තරගාවලිය කොරෝනා හේතුවෙන් අත්හැර දැමුණි. එයින් ශ්‍රී ලංකාව අපේක්ෂා කළ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 (ශ්‍රී ලංකා රුපියල් මිලියන 644) කි. පසුගිය වසරේදී කොරෝනා අර්බුදය ආරම්භ වෙද්දී ශ්‍රී ලංකාවේ සිටි එංගලන්ත පිල තරගාවලිය සම්පූර්ණයෙන් අත්හැර දැමීමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 460) අහිමි විය. මේ ආකාරයෙන් අත්හැර දැමූ ක්‍රිකට් තරගාවලි කිහිපයකින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දරුණු ආර්ථික හානියක් සිදුව ඇති හෙයින් එළැඹෙන ජූලි මාසයේ පැවැත්වෙන තරගාවලිය ඉතා වැදගත් එකක් බවට පත් වේ.

Related posts

Leave a Comment