සැප්තැම්බර් වනවිට 21000 ක්‌ මියයනවා පුවතේ පදනම කුමක්‌ද… GOMA වොෂින්ටනයෙන් අසයි

ශ‍්‍රී ලංකාවේ සිදුවිය හැකි කොවිඞ් මරණ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලය කර ඇති හෙළිදරව්වේ සත්‍යතාව සොයා බැලීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම විශ්වවිද්‍යාලය වෙත ලිපියක් යොමුකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ඊයේ (10දා) සඳහන් කළේය.

පවතින කොවිඞ් තත්ත්වය යටතේ මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට මෙරට කොවිඞ් මරණ සංඛ්‍යාව 20,000 සීමාව ඉක්මවා යාහැකි බවට ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සමීක්‍ෂණ ආයතනයක් ප‍්‍රකාශ කර තිබිණ. මෙම පුවතේ සත්‍ය අසත්‍යතාව හෝ එය කුමන තොරතුරක් මත පදනම්ව කළ හෙළිදරව්වක්ද යන්න පැහැදිළිකර ගැනීමේ අරමුණින් සිය සංගමයේ මධ්‍යම කාරක සභාව හරහා වොෂින්ටන් විශ්වවිද්‍යාලය වෙත එම ලිපිය යොමුකර ඇතැයිද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

පවතින අධි කොවිඞ් වසංගත තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුා කළා. සංකූලතා නැති රෝගීන් නිවෙස් තුළ තබා ගනිමින් දැඩි වෛද්‍ය අධීක්‍ෂණයක් යටතේ ප‍්‍රතිකාර කිරීම පිළිබඳව අපි ජනපතිවරයාට කරුණු ඉදිරිපත් කළා.

යම් යම් කොන්දේසිවලට යටත්ව කොවිඞ් රෝගීන් නිවාසවල තබා ගනිමින් ප‍්‍රතිකාර ලබාදෙන අතරතුර අවශ්‍යම හදිසි රෝගීන් වහාම රෝහල් කරා රැගෙන ඒම වෙනුවෙන් ක්‍ෂණිකව පහසුකම් සලසා දීම පිළිබඳවත් අපි ජනාධිපතිවරයා දැනුවත් කළා. පී. සී. ආර්. වාර්තා නිශ්චිතව ලබාගනිමින් නිවැරදි තීරණ ගැනීමට වසංගත රෝග විද්‍යා අංශය විසින් ගත යුතු පියවර පිළිබඳවත් අපේ සංගමය කරුණු ඉදිරිපත් කළා.

ඊට අමතරව රට පුරා වසා දැමීමට අවශ්‍ය ස්ථාන ක්‍ෂණිකව සොයා ගනිමින් පළාත් අතර සංචරණ සීමා පැනවීමට කි‍්‍රයාකළ යුතු ආකාරය පිළිබඳවත් කරුණු පැහැදිළි කළා.

එන්නත්කරණයේදී යුද හමුදාවේ සහාය ලබාගැනීමටත් එය පූර්ණ වෛද්‍ය අධීක්‍ෂණයන් යටතේ සිදුකිරීමටත් එම සාකච්ඡුාවලදී අප එකඟතාවට පැමිණියා.

ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලය ශ‍්‍රී ලංකාවේ සිදුවිය හැකි කොවිඞ් මරණ ගැන කර ඇත පුරෝකථනය සත්‍යයක් නම් අපි ඒ පිළිබඳව ගතයුතු කි‍්‍රයාමාර්ග ඉක්මනින් කි‍්‍රයාවට නැංවිය යුතුයි. නමුත් මුලින්ම සොයාගත යුත්තේ ඒ පුවතේ සත්‍යතාවයි

Related posts

Leave a Comment