ප්‍රකට ඉන්දීය පූජකයෙකුගේ අවමගුල තවත් කොරෝනා පොකුරක්ලු

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය තුළ කොවිඩ්-19 නීති බලාත්මක කරමින්, ප්‍රාන්තය පුරා ලොක්ඩවුන් තත්ත්වයක් පැවතියත් ජ්‍යෙෂ්ඨ ඉස්ලාමීය පූජකයෙකුගේ අවමංගල්‍යයක් වෙත සිය දහස් ගණනක් රැස්වීම නවතම කොරෝනා පොකුරකට අතවනා තිබේ. කාසි හස්රත් අබ්දුල් හමීඩ් මොහොමඩ් සලිමුල් කද්රි පසුගිය ඉරිදා දහවල් බඩාන් දිස්ත්‍රික්කයේදී මිය ගිය අතර ඔහුගේ මරණය පිළිබඳ පුවත පැතිරෙත්ම ජනතාව මෙසේ එක්රැස් වීමට පටන් ගෙන ඇත. ඔහු ප්‍රජාව තුළ වඩාත් ගෞරවයට පත්වූ අයෙකු නිසා මිනිසුන් ඒකරාශී වී ඇති බවත්, ඇඳිරි නීතිය, පොලිස් බාධක හා මුරපොලවල් තිබියදීත් මිනිසුන් මෙම අවමංගල්‍යයට සහභාගී වී ඇති බවත් සඳහන් වෙයි. ඒ අනුව මෙම අවස්ථාවේදී බලධාරීන්ද වගකීම් පැහැර හරමින් කටයුතු කර ඇති බවට මාධ්‍ය චෝදනා එල්ල කරයි. කෙසේ වෙතත් ඉන්දියාව දෙවැනි කොවිඩ්-19 රැල්ලට එරෙහිව සටන් කරමින් සිටින බැවින් ඉරිදා උත්තර් ප්‍රදේශ් සිය වත්මන් අගුලු දැමීම මැයි 17දා දක්වා දීර්ඝ කර තිබූ පසුබිමක මෙම ජන ඒකරාශී වීම සිදුව ඇත.

ප්‍රාදේශීය පොලීසිය අවමංගල්‍යයට සහභාගි වූ ‘නාඳුනන පුද්ගලයන්ට’ එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ලොක්ඩවුන් කර තිබියදීත් ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. එහිදී අවමංගල්‍යයට සිය දහස් ගණනක් පැමිණ තිබුණද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොතිබීමද පුදුමසහගතය. වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් මෙවැනි සිදුවීම් අර්ථ දක්වන්නේ, තමාගේත්, සෙසු ප්‍රජාවගේත් වළ සියැසින්ම කපා ගැනීමක් ලෙසිනි.

Related posts

Leave a Comment