පීඩාකාරී කොරෝනා මැද ඩෙංගුත් හිස ඔසවයි ද..?

  • ලොව පුරාඩෙංගු වයිරසයේ පැතිරීමක් දැක ගැනීමට පුළුවන්.
  • මහජනතාවගේ කැපවීමත් අත්‍යවශ්‍යයි.
  • හුඟ දෙනකු ඩෙංගු රක්තපාතයට පත් වන්නට පෙර ඉන් ගලවා ගැනීමට රජයේ රෝහල්වලට හැකි වුණා.
  • ගෙවත්තේ තැනින් තැන මදුරුවන් බෝ නොවන්නට පියවර ගැනීම වැදගත්.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කොරෝනා වසංගතය හේතුවෙන් වැඩ රාජකාරි බහුලව සිටින මේ කාලයේදී වාර්ෂිකව වැඩි ඩෙංගු රෝගීන් ගණනක් වාර්තා වීමේ ප්‍රවණතාවක් පවතී. ඒ, මෙරට මැයි සිට ජුලි පමණ වන තෙක් පවතින නිරිත දිග මෝසම් වර්ෂාව නිසාය. ඉනික්බිතිව ඔක්තෝබරයේ සිට ජනවාරිය දක්වාම යෙදෙන ඊසාන දිග මෝසම් වැසි සමය ද එසේම පවතී. එහෙත්, ඉකුත් වර්ෂයේදී ගෙවත්ත හා ඒ අවට පිරිසුදුව තබා ගැනීමෙන් ඩෙංගු තුරන් කිරීමට වැඩි දායකත්වයක් ජනතාවගෙන් ලැබිණි. වැඩි කාලයක් නිවෙසටම වී ගත කිරීම හා ඒ අතරතුර බොහෝ දෙනකු වටපිටාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ඊට බලපෑම් කරන්නට ඇත. එමෙන්ම, මේ වසරේ ද එම දායකත්වය නොඅඩුව මහජනතාවගෙන් ලද හොත් ඩෙංගු වයිරසයට මිනිසුන් බිලි ගන්නට ඉඩක් නැත. මේ කතාබහ එහි අගය මතු කරනු පිණිසය. මේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකර මහතා සමඟ කළ සාකච්ඡාවකි.

  • ඩෙංගු තවත් මාරාන්තික වයිරසයක්. ඒ අතින් ලෝකයා හමුවේ අප කොහොම තැනක ද ඉන්නේ?

ඉකුත් දශකය පිළිබඳව සලකා බැලුව හොත් වේගයෙන් ලොව පුරා ඩෙංගු වයිරසයේ පැතිරීමක් දැක ගැනීමට පුළුවන්. ඝර්ම කලාපීය රටවලට ඒ අවදානම වැඩි බවක් පෙනෙනවා. එසේම, දකුණු හා ගිනිකොන දිග රටවල් 100ක පමණ, විශේෂයෙන් නාගරික හා අර්ධ නාගරික ජනතාව අතර ඩෙංගු උණ පැතිරීමේ වැඩි ප්‍රවණතාවක් පිළිබඳ ඊට අදාළ දත්ත වාර්තා මඟින් හෙළි වෙනවා. ඒ අනුව මෙරට ද ඒ අවදානමට නිසි සූදානම ඉතා වැදගත්.

  • මෙරට ජනතාවගෙන් ඊට ප්‍රමාණවත් තරම් ප්‍රතිචාර ලැබෙනවා ද?

ඒ පිළිබඳ සෑහීමකට පත්වෙන්න පුළුවන්. ජනතාවගේ ආකල්ප ඒ කෙරෙහි සුබදායක අන්දමින් වෙනස් වෙමින් පවතින බවක් පෙනෙනවා. කලෙකට පෙර මෙන් නොවෙයි, දැන් තැඹිලි කෝම්බයක් වුණත් ඔහේ තැනින් තැන වීසි කරන්නට හුඟ දෙනෙක් පෙළඹෙන්නේ නැහැ. ඒ, එයින් සමාජයට සිදු වන අවැඩ ගැන සැලකිලිමත් වෙමින්. අප අපම අපේ මරණ වරෙන්තු ලියා ගැනීමට එවැනි අකටයුතුකම්වලින් දායක වන බවක් සමාජගත වී ඇති බවක් කුඩා උදාහරණ ඇසුරෙන් මතු කර දක්වන්න පුළුවන්. එහිදී පොලිතීන් හා ප්ලාස්ටික් කඳු ගොඩ ගැසෙන්නට ඉඩ නොදෙමින් විධිමත්ව නිසි වේලාවට කසළ ගොඩ නොගැසෙන්නට රාජකාරි කරන පළාත් පාලන ආයතනවලට ස්තුති කළ යුතු වෙනවා. නැතිනම් වැසි කාලයේදී ඒ මතුපිට වතුර පිරීම ඩෙංගු පැතිරීමට කොළ එළියක්.

  • ඒත් මේ තවත් වසංගතයක් නිසා ලෝකයම බියෙන් ඇළලී සිටින කාලයක්?

ඇත්ත. මෙරටටත් එය දැනෙනවා. වෙනදා මෙන් ගෙයින් ගෙට ඇවිදිමින්, ගෙවත්ත පුරා ඇවිද යමින් ගෙවත්ත මෙන්ම ඒ අවට කුණු ගොඩවල් හාරා අවුස්සා මදුරු කීටයන් වනසා දමන්නට රාජ්‍ය නිලධාරීන්ට මේ අවස්ථාවේ අපහසුයි. කලින් වහල මතට පවා නැඟ මහජන සුබසිද්ධිය වෙනුවෙන් රාජ්‍ය නිලධාරින් ඒ මෙහෙවර ඉටුකළානේ. ඉකුත් කාලයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පොලිසිය හා හමුදාවේ සහාය ඇතිව එතරම්ම කැපකිරීමකින් තමයි කර්තව්‍යයේ නියැළුණේ. එහෙත් එය ප්‍රායෝගිකව මේ අවස්ථාවේදී කිරීම අපහසුයි. මේ නිසා මින් පෙර අත්දැකීම් සිහිපත් කරමින්, වැඩි වර්ෂාවක් ලැබෙතැයි අපේක්ෂා කරන මේ කාලයේදී තමාගේ ගෙවත්තේ තැනින් තැන මදුරුවන් බෝ නොවන්නට පියවර ගැනීමට හැම කෙනකුම දිනපතා සැලකිය යුතු වේලාවක් වෙන් කිරීමට කටයුතු කළ යුතු වෙනවා. එවිට ලෝකයේ රටවල් රැසක්ම නොපෙනෙන මාරාන්තික වයිරසයක් සමඟ සටන් වැදී සිටින මේ කාලයේදී අපට ඇසට පෙනෙන මාරාන්තික ඩෙංගු මදුරුවාගේ අවදානමෙන් මිදීම අපහසු නැහැ. එසේම එය රජයේ නිලධාරින්ගේවත් පළාත් පාලන ආයතනවලවත් තනි වගකීමක් නෙවෙයි. පොදුවේ රටවැසියන් වශයෙන් අපි හැමෝම ඊට ඇප කැප වී සිටිය යුතුමයි.

  • ඩෙංගු උණටත් ලෝකයා තවම නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගෙන නැහැ නේ ද?

ඒත් එහිදී වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමෙන් අපට දැඩි අවදානම් තත්ත්වයට පත්වන්නට කලින් එයින් මිදෙන්න පුළුවන්. ඒ සදහා දැනුවත් වීම ඉතා වැදගත්. රජයේ රෝහල් මඟින් ඒ සදහා නිසි වෛද්‍ය උපදෙස් මෙන්ම ප්‍රතිකාර ලබා දෙනවා. ඒ නිසා කිසිවකු බිය විය යුතු නැහැ.

  • කොරෝනා වයිරසය ශරීරගත වුවකු සහ ඩෙංගු රෝග ලක්ෂණ පෙන්වන්නකු අතර වෙනස අපැහැදිලි වුණොත්?

එවැනි බියක් ඇතිකර ගත යුතු නැහැ. ඒ පිළිබද හරිහැටි හඳුනා ගැනීම වෛද්‍යවරුන්ට එතරම්ම ගැටලුකාරී වන්නේත් නැහැ. ඩෙංගුවලදී උණත් සමඟ එක දිගට දින දෙකක් පමණ ඔක්කාරය, තදින් පවතින උදරාබාධ ස්වභාවය, හිසරදය, සන්ධි සහ මස්පිඩු වේදනා මෙන්ම සම මතුපිට රතු පැහැති ලප ඇති වීමේ ඉඩකඩ ආදියෙන් ඒ වෙනස මතුපිටින් සරලව හඳුනා ගත හැකි වෙනවා. එසේම, ප්ලාස්මා තරලය පිටතට කාන්දු වීම වැනි රෝග ලක්ෂණ වෛද්‍ය පර්යේෂණවලින් තවදුරටත් හෙළි කර ගැනීමට පුළුවන්. ඩෙංගුවලට එන්නතක්වත් විශේෂ ඖෂධයක්වත් නැති බව කවුරුත් දන්නා තවත් කරුණක්. ඒත් සේලයින් වැනි අන්තර් ශිරා ද්‍රාවණ ලබා දීමත් දිගින් දිගට සිදු කෙරෙන රුධිර පරික්ෂණ ආදියත් මඟින් විවිධ සංකූලතා ඇතිවීම වළක්වා ගැනීමට පුළුවන්. එහිදී වැදගත්ම කරුණක් වෙන්නේ ඉක්මණින් රජයේ රෝහලකට ප්‍රතිකාර කරා යොමු වීමයි. ඇත්තෙන්ම අපට අකාලයේ ඩෙංගු නිසා අහිමි වුණු ජීවිත හුඟක් ගලවා ගැනීමට අපහසු වී තිබුණේ එය එසේ නොවීමෙන්. නොඑසේ නම් මෙරට ක්‍රියාශීලීම වයස අවුරුදු 15-45ත් අතර හුඟ දෙනකු ඩෙංගු රක්තපාත තත්ත්වයට පත් වන්නටත් කලින්ම ඉන් ගලවා ගැනීමට රජයේ රෝහල් හරහා අපට පුළුවන්කම තිබුණා.

  • ඒ අනුව මහජනතාව දැනුවත්වීමයි ඉතා වැදගත්?

ඇත්තෙන්ම. අප හැකි උපරිමයෙන් ජනමාධ්‍ය සහාය ද ලබා ගනිමින් ඒ කර්තව්‍යයේ නියැළෙනවා. එහෙත් එහිදී රජයේ ආයතනයක් වශයෙන් අති විශාල වියදමක් දැරීමට අපට අපහසුයි. එහෙත් නවීන සන්නිවේදන තාක්ෂණය උපරිම වශයෙන් ඒ පණිවුඩය මහජනතාව අතරට ගෙන යෑමේදී අප යොදා ගන්නවා. ඊට වෙනමම ඇප් ( Apps) එකක් හඳුන්වා දීමටත් අප කටයුතු කළා. ඒ හරහා ද සැලකිය යුතු ප්‍රතිචාර ලැබුණත් සමහරු තවම ඉන් වැඩ ගන්නේ නැහැ. ඒත් මුළුමහත් සමාජටම ඩෙංගු තුරන් කිරීමට තම තමන්ගේ දායකත්වය ලබා දිය යුතුයි කියන පණිවුඩය ගෙන යා යුතුමයි. ඒ කෙරෙහි මහජනතාවගේ කැපවීමත් අත්‍යවශ්‍යයි. එවිටයි, රටක් වශයෙන් අපට සතුටුවෙන්න පුළුවන් වෙන්නේ. එතෙක් රාජ්‍ය නිලධාරින් ගෙයින් ගෙට යමින් කෙතරම් අවධාරණයෙන් පරිසරය මදුරුවන් බෝ නොවන ලෙස තබා ගන්නා ලෙස කියා සිටියත් අපට නිසි ප්‍රතිඵල නොලැබේවි. ජනතාව කොරෝන රෝගය කෙරෙහිම අවධානය යොමු කර ගෙන සිටීම නිසා ඩෙංගු වසංගතය ඔවුනට අමතකව ගොස්. එහෙත් මේ වසංගත දෙකම මාරාන්තිකයි. ජනතාව සෑම දෙයකින්ම පරිස්සම් වීම අත්‍යවශ්‍යයි. කොරෝනාවෙන් පරිස්සම් වීම සඳහා අදාළ සෞඛ්‍ය නීතිරීති රකින ගමන්ම තමන්ගේ වත්ත පිටිය ගැනත් අවධානය යොමු කළ යුතුමයි. සතියතට වතාවක් හෝ වත්ත පිටිය පිරිසුදුව තබා ගත හොත් ඩෙංගු මදුරුවන්ට නවාතැන්පොළවල් හැදෙන්නේ නැහැ. ඒ පිළිබඳව සියල්ලක්ම සැලකිලිමත් විය යුතුමයි.

  • ඔබ ඩෙංගු මර්දනයේදී රාජ්‍ය නිලධාරින්ගේ දායකත්වය පිළිබඳ කතා කළා. ඒත් අවුරුදු 4ක් තිස්සේ පත්වීම් නොලද බවක් තමයි ඩෙංගු මර්දනය සඳහාම බඳවා ගත් ඇතැම් නිලධාරීන් කියන්නේ?

ඒක මෙහෙමයි. පසුගිය ආණ්ඩුව කාලයේදී සුදුසුකම් පිළිබඳ නිසි සැලකිල්ලක් නොදක්වා එම 1500 දෙනකුගෙන් යුතු කණ්ඩායම බඳවා ගෙන තිබෙන්නේ. එයින් ඇතැමුන් රැකියාව හැර ගිහින්. ඒ කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව ඒ අයට රජයේ රැකියාවලට බඳවා ගැනීමේ මූලික සුදුසුකම්වලට යටත්ව සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ ඉදිරියේදී මූලික සුදුසුකම් සහිත ඒ තැනැත්තන්ගේ රැකියා නුදුරේදීම ස්ථිර කරන බවත් අපට දැන ගැනීමට ලැබුණා. අනෙක් අයටත් ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභින් ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ රැකියා ස්ථිර කර දීමටත් කටයුතු කෙරෙන බවත් පැවසිය හැකියි.

Related posts

Leave a Comment