සංචරණ සීමා කැඩුවොත් අපරාධ නීතියෙන් දඬුවම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

 විනෝද චාරිකා නෑදෑ ගමන් තහනම්
– පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නිරෝධායන රීතිවලට අමතරව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය

පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

පළාත් අතර ගමනාගමනයේදී විනෝද චාරිකා, නෑදෑ ගමන් යාම, නිවාඩු ගතකිරීම ආදිය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන අතර එක් පළාතකින් පිට වීම හෝ තවත් පළාතකට ඇතුළුවීම කළ නොහැකි බවද ඒ සඳහා අතුරු මාර්ග භාවිත කරමින් ගමන් කරන්නේ නම් නීති විරෝධී කටයුත්තක් සිදුකරනවා සේ සළකා ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතීන් මෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමේ හැකියාව පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

පොලිස් මූලස්ථානයේ දී ඊයේ (11) පස්වරුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම සඳහා රටේ ජනතාව සහාය දෙනු ඇතැයි අපේක්ෂා කරන බව පෙන්වාදෙන ඒ මහතා රටේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද නිවාඩු ගත කිරීම, විනෝද චාරිකා යාම මෙන්ම තමන් සිටින පළාතෙන් වෙනත් පළාතකට ගමන් කිරීමට නොහැකි අතර එවැනි අවස්ථාවක නීතිය ක්‍රියාත්මක කරන බවද සඳහන් කරයි.

මේ නීරෝධායන නීතිය එළඹෙන 31 දා තෙක් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා පොලීසිය විසින් අදාළ නිර්ණායක ක්‍රියාත්මක කරන බවද සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මේ කාලසීමාවේ දී අවලංගු කර තිබෙන බවද සඳහන් කළ අජිත් රෝහන මහතා හුදෙකලා නොකළ ප්‍රදේශවල සියලු නිලධාරීන් අනිවාර්යයෙන් සේවයට වාර්තා කළයුතු බවද පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් වංචා සහගතව යම් අයකු කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන නමුත් අත්‍යවශ්‍ය සේවා සඳහා වාර්තා කිරීමේ හැකියාව තිබෙන අතර ඒ සඳහා රාජකාරි හැඳුනුම්පත භාවිත කළහැකි බවද මෙවැනි අවස්ථාවක විශේෂ අවසරයකින් නවාතැන් ගැනීමේ හැකියාව තිබෙන බවද සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අත්‍යවශ්‍ය පාරිභෝගික සේවා ස්ථාන යම් ප්‍රමාණයකින් විවෘත කළහැකි වන අතර ආගම් උත්සව ද සීමා කර තිබෙන බව සඳහන් කළේය.

මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ අත්‍යවශ්‍ය සේවා සැපයීමේ දී සීමාවක් පනවා නොමැති බව සඳහන් කළ අජිත් රෝහණ මහතා ඊයේ (11) රාත්‍රියේ සිට පළාත් අතර සංචාරණ සීමාවන් පැනවීමට රජය තීරණය කළ බවත් කොවිඩ් වසංගතයෙන් අප මුහුණදෙන අවදානම් කාල පරිච්ඡේදයට ශ්‍රී ලංකාව පිවිස සිටින බවත්ය. මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුව මේ කටයුතු සිදුකරන බව පෙන්වාදුන් ඒ මහතා ඊයේ දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැති බවද සඳහන් කළේය. මේ නිරෝධායන කාලසීමේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපමාන ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙන අතර අනවශ්‍ය ගමන් බිමන්, විනෝද චාරිකා ආදිය මෙන්ම පළාත් මායිම් පසුකර යාමට අවස්ථාවක් නොලැබෙන බවද සෑම පළාත් මායිමකම ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන බවද හෙතෙම පැවසීය.

එක් පළාතකින් තවත් පළාතකට ඇතුළුවීමට අවසර නොලැබෙන අතර අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බවද සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ කටයුතු, ජලය, විදුලිය, වරාය, ගුවන් තොටුපළ, සන්නිවේදන, මාධ්‍ය, අධිකරණ හා නීති, වාණිජ හා මූල්‍ය සේවාවන් ඒ ආකාරයටම පළාත් මායිම් හරහා පරීක්ෂා කිරීමකින් පසුව පැමිණීමේ හැකියාව ලැබෙන බවද සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කෘෂිකර්මයට, ඖෂධ නිෂ්පාදනයට සම්බන්ධ අයට ද නියමිත පරිදි සේවා ස්ථානවලට පැමිණිය හැකි බව කීවේය.

කර්මාන්ත ශාලා ආදිය එලෙසින්ම කටයුතු කරන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ෙජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන නිර්ණායකවල සාකච්ඡා, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීමට නොහැකි අතර ඒවා තහනම් බවද සමාජ ශාලා, සාද පැවැත්වීමට ද නොහැකි අතර එවැන්නකට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බවද පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා එවැන්නකට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පෙන්වා දුන්නේය.

කෙසේ වුවද පළාත් අතර සංචරණය වෙනුවෙන් බලපත්‍ර ලබාදීමක් සිදුනොවන අතර ඒ සම්බන්ධ පරීක්ෂා කිරීම් සිදුකරන බවද යම් ප්‍රදේශයන් හුදෙකලා කර තිබෙන්නේ නම් එයින් පිටතට හෝ එම ප්‍රදේශයට ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර මහජනතාවගේ ජනජීවිතයට අදාළ සියලු කටයුතු එලෙසින්ම සිදුවන බවද මේ සංචාරන සීමාවන් පවතින කාලයේ නියමිත පරිදි කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරන බවද පැවසීය. මේ කාලයේ දී සිවිල් ඇඳුම් පොලිස් නිලධාරීන් යොදවමින් හා ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

කිසිඳු ආකාරයකින් විනෝද ගතකිරීමට, නෑදෑ ගමන් යාම, සති අන්ත ගත කිරීමට තහනම් වන අතර කිසිඳු ආකාරයකින් ඒ සඳහා අවසර නොලැබෙන බවද හෝටල්, නවාතැන් පළවල හිමියන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු බවද හෙතෙම කීවේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව පොලිසිය වෙත බලය පවරා තිබෙන අතර ඒ අනුව පොලීසිය විසින් මේ සම්බන්ධ නිර්ණායක ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කීය.

Related posts

Leave a Comment