ඉන්දී්‍ය කොරෝනා ප්‍රභේදයෙන් ලොවම අනතුරේ

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි
– කොරෝනාව ලොවෙන් තුරන් වන්නේ නෑ
– විසඳුම එන්නත්කරණය පමණයි

ඉන්දියාවෙන් හමු වී ඇති කොරෝනා වයිරස් ප්‍රභේදය මුළු ලෝකයටම බලපෑම් ඇති කිරීමට හැකියාව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

එම වයිරස් ප්‍රභේදය පළමුවෙන් හඳුනාගනු ලැබුවේ පසුගිය වසරේ දී වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ B.1.617 නම් එම විකෘති වයිරසය අනෙකුත් ප්‍රභේදවලට වඩා වේගවත්ව පැතිර යන බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ කළයුතු බවට මූලික පර්යේෂණවලින් පෙන්වන බවත්ය.

මේ වනවිට එම ප්‍රභේදය රටවල් 30කට පමණ පැතිර ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. මේ වනවිට එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලයෙන් ඇති වූ තවත් ප්‍රභේද 3ක් හමුවී තිබේ.

පහසුවෙන් පැතිරයාමත්, රෝගියා ඉක්මනින් අසාධ්‍ය තත්ත්වයට පත්වීමත්, ප්‍රතිදේහ සඳහා ප්‍රතිචාර දැක්වීම අඩුවීමත්, ප්‍රතිකාර සහ එන්නත් සඳහා බලාපොරොත්තු වන ආකාරයට ප්‍රතිචාර නොදැක්වීමත් හේතුවෙන් ඉන්දීය වයිරස් ප්‍රභේදය ‘variant of interest‘ සිට ‘variant of concern‘ දක්වා ඉහළ දමා ඇත.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසුවේ කොරෝනා ‍වයිරසය ලෝකයෙන් තුරන් නොවන බවත්, මේ සඳහා දැනට ඇති හොඳම විසඳුම එන්නත්කරණය පමණක් බවත් ය.

දැනට කරගෙන යන පරීක්ෂණ සහ ලෝකයෙන් ලැබෙන තොරතුරු විශ්ලේෂණය කිරීමේදී කොරෝනා වයිරසය ලොවින් තුරන් වීම පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ද හෙතෙම ‘දිනමිණ‘ ට පැවැසීය.

ශ්‍රී ලංකාව පුරා වේගයෙන් පැතිර යන ‍වයිරසය පාලනය කිරීමට නම් ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, සංචරන සීමා උපරිම ලෙස ක්‍රියාත්මක කරමින්, හැකිතාක් එන්නත ජනතාවට ලබාදීම තුළින් බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ලංකාව තුළ මේ වන විට වේගයෙන් පැතිරෙන්නේ (බී 117) නමැති එංගලන්ත වයිරස් ප්‍රභේදය බවත්, මේ ප්‍රභේදය නිසා සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් රෝගය ව්‍යාප්ත වූ බව සඳහන් කරන ජීවන්දර මහතා සඳහන් කර සිටින්නේ ‍මේ වන විට ශ්‍රී ලංකාව තුළ යම් අවධානම් තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. බ්‍රසීලයෙන් හමු වූ ප්‍රභේදය හැර දැනට ලෝකයෙන් හඳුනාගත් කොරෝනා ප්‍රභේද සියල්ලම ශ්‍රී ලංකාව තුළින් හමු වී ඇති බව හෙතෙම අවධාරණය කළේය.

සෞඛ්‍ය ක්‍රියාදාමයට අමතරව ජනතාව සෘජු දායකත්වයක් ලබා දුන්නොත් පමණක් රෝගය ව්‍යාප්ත වීම අවම කර ගත හැකි බව ද වෛද්‍යවරයා සඳහන් කරයි.

Related posts

Leave a Comment