සමීපතමයන් සොයා බුද්ධි මෙහෙයුම්

ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ඊයේ (11) පැවසුවේ කොරෝනා ‍වයිරසයේ සැර ප්‍රභේදයක් ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ප්‍රභේදය (බී. 117) ආසාදනය වූ රෝගීන්ගේ සමීපතමයන් සොයා ආරක්ෂක බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කළ බවයි. දිවයිනේ විවිධ ප්‍රදේශවලට බුද්ධි අංශ නිලධාරීන් දැනටමත් පිටත්ව ගොස් සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ. එම බුද්ධි අංශ කණ්ඩායම් ඒ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් රැසක් දැනටමත් සොයාගෙන නිරෝධායනයට යොමු කරනු ලැබ ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ‘දිනමිණ’ට පැවැසීය. එම විමර්ශන කටයුතු දිගටම සිදු කෙරෙන බවද ඔහු වැඩිදුර‍ටත් කීය. බ්‍රිතාන්‍යයේ පැතුරුණු කොරෝනා වයිරස ප්‍රභේදය වූ බී. 117 ආසාදනය වූ ආසාදිතයෝ දිවයිනේ දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ 21කින් පසුගියදා සොයා ගනු ලැබූහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු කණ්ඩායමක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබුණු ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පල හැට හයක ජාන විශ්ලේෂණයේදී මෙම නව වයිරසය හඳුනාගෙන ඇත.

Related posts

Leave a Comment