ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු තරග ආර්.ප්‍රේමදාස පිටියේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කලේ ඉන්දීය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු තරග ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බවටයි. ලබන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය එක්දින හා විස්සයි20 කණ්ඩායම එක්දින තරග 3කට සහ විස්සයි20 තරග 3කට සහභාගි වන අතර, දෙපිලේහිම ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සියලු තරග පැවැත්වීමට තීරණය කළ බව මහාචාර්යවරයා ඊයේ කීවේය.

‘දැනට තියෙන තත්ත්වය මත අපිට කිසිම දෙයක් ස්ථීර වශයෙන්ම කියන්න අමාරුයි. ඒත් මේ තරගාවලියට සියල්ල සැලසුම් කරලා ඉවරයි. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු වගයක් මේ දිනවල කෙරෙනවා. ඒ සියල්ල ජූලි මාසයට කලින් ඉවර වේවි කියලා හිතනවා.’ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් ඒ කාලය වන විට සෞඛ්‍ය අංශයේ මාර්ගෝපදේශ සහ කොවිඩ් නීතිරෙගුලාසිවල සංශෝධනයක් සිදුවන්නේ නම් ඒ අනුව තරගාවලිය පැවැත්වීමටත්, පසුගිය තරගාවලි සාර්ථකව පවත්වමින් ලැබූ අත්දැකීම් පාදක කරමින් වඩාත් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමටත් සැලසුම් කර ඇතැයි ද ඔහු පැවැසීය.

‘ඉන්දීය කණ්ඩායමේ වගේම අපේ කණ්ඩායමෙත් වෙනසක් සිදු වෙනවා. තරුණ ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කරනවා. මුලින්ම අපේ කණ්ඩායම බංග්ලාදේශ සංචාරයට සහභාගි වෙන්න නියමිතයි. ඊළඟට එංගලන්තයේ සංචාරය කරන්න නියමිතයි. මේ සංචාර දෙකට පසුව තමයි ඉන්දීය පිල එන්නේ. ඒ නිසා දීර්ඝ කාලයක් අපේ ක්‍රීඩකයන් ජෛව බුබුළු සෞඛ්‍ය ආරක්ෂක වළල්ලකයි සිටින්නේ. ඒක නිසා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන ගැටලුවක් නෑ’ ඔහු කීවේය. දීර්ඝ කාලයක් පුරා ක්‍රීඩකයන් ජෛව බුබුළු ආරක්ෂක වළල්ලක සිටීම ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවට කෙසේ බලපාන්නේදැයි විමසූ විට මහාචාර්යවරයා කියා සිටියේ එවැනි ගැටලු මතු විය හැකි බවය.

‘ඔව්. මම ඒක පිළිගන්නවා. ඒත් අපේ ක්‍රීඩකයන් තරුණයි. ඒ වගේම ආසියාතික රටවල අය බටහිර රටවල අයට වඩා වැඩිපුර සාමූහිකව ගත කිරීමට කැමැති නිසා ඒක ගැටලුවක් වන එකක් නෑ. කොහොම වුණත් මොනව හරි ගැටලුවක් මතු වෙනවා නම් ඒකට අපේ කණ්ඩායමේ මනෝවෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට හැකියාව තිබෙනවා’ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියා සිටියේය. මහාචාර්යවරයා පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට කොවිඩ් මර්දන එන්නත පළමු මාත්‍රාව දැනටමත් දී ඇති අතර, තවත් සති තුනකින් එහි දෙවැනි මාත්‍රව ලබා දීමට නියමිත බවයි.

Related posts

Leave a Comment