එංගලන්ත ටෙස්ට් සංචිතයට අලුත් මුහුණු

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂ ඈෂ්ලි ගිල්ස් සඳහන් කරන්නේ අනපේක්ෂිත ලෙස IPL තරගාවලිය අත්හිටුවීමෙන් එම තරගාවලියට සහභාගි වූ එංගලන්ත ක්‍රීඩකයන් යළි මව්බිමට පැමිණීම හේතුවෙන් නවසීලන්තය සමඟ පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාවට කණ්ඩායම තෝරාගැනීමේ ගැටලු මතු වී ඇති බවටයි. එසේ වුවත් කළින් සැලසුම් කළ පරිදි නවසීලන්ත ටෙස්ට් තරගමාලාවට නවක මුහුණු කිහිපයක් ඇතුළත් කිරීමේ අදහස ඒ අයුරින්ම සිදු වනු ඇතැයි ද ඔහු කියා සිටියේය. මීට හේතු වී ඇත්තේ අයිපීඑල් තරගාවලිය අත්හිටුවීමෙන් පසු යළි මව්බිමට පැමිණි ක්‍රීඩකයන්ට තව දුරටත් නිරෝධායනයේ නිරත වීමට සිදු වීමය. නවසීලන්ත තරගමාලාවටත් ඔවුන් යොදා ගන්නේ නම් එම ක්‍රීඩකයන්ගේ නිරෝධායන කාලසීමාව තවත් දීර්ඝ වනු ඇතැයි ද, එය ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවට දැඩි බලපෑමක් වනු ඇතැයි ද ඔහුගේ අදහස වී තිබේ.

එබැවින් නවසීලන්ත ටෙස්ට් තරගමාලාවට නවක ක්‍රීඩකයන් ලෙස ඔලී රොබින්සන් සහ ජේම්ස් බ්‍රේසි ඇතුළත් කිරීමටත්, මීට පෙර ටෙස්ට් තරග 4කට සහ එක්දින තරගයකට පමණක් ක්‍රීඩා කර ඇති ක්‍රෙග් ඕවර්ටන් යළි කැඳවීමටත් තීරණය වී ඇත. මේ තිදෙනාම එරට ප්‍රාන්ත තරගවාරයේදී දස්කම් අතර සිටියහ. මෙතෙක් විදෙස් රටවලදී පමණක් ටෙස්ට් තරග සඳහා ක්‍රීඩා කර ඇති බෙන් ෆෝක්ස් ද එංගලන්තයේදී සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ඇත. දෙපිල අතර ටෙස්ට් තරගමාලාව ජූනි මස 2 වැනි ආරම්භ වන අතර, එංගලන්ත සංචිතය නම් කිරීම මේ මස 17 හෝ 18 වැනිදා සිදු කිරීමට නියමිතය.

Related posts

Leave a Comment