පාකිස්තාන ජයග්‍රහණය වාර්තා පොත අලුත් කරයි

සංචාරක පාකිස්තාන පිලට තරග 2-0ක විශිෂ්ට ජයක් අත්කර දෙමින් පසුගියදා නිමාවට පත් වූ සිම්බාබ්වේ ටෙස්ට් තරගමාලාවේ දෙවැනි ටෙස්ට් තරගයේදී වාර්තා පිට වාර්තා බිහි විය. හරාරේ නුවර පැවැති මේ තරගය පාකිස්තානය ඉනිමකින් සහ ලකුණු 147කින් ජය ගත් අතර, එය සංචාරක කණ්ඩායමේ නමින් වාර්තා රැසක් බිහි කිරීමට සමත් විය. එම තරගයේ සිම්බාබ්වේ පළමු ඉනිමේදී කඩුලු 5ක් දවාලීමට හසන් අලි සමත් වූ අතර, දෙවැනි ඉනිම ලකුණු 231කට සීමා කරමින් කඩුලු 5 බැගින් දවාලීමට ශාහින් ෂා අෆ්රිඩි සහ නවුමාන් අලි සමත් වූහ. එය වාර්තා පොතට එක් වූයේ පාකිස්තානය වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක පන්දු යවන්නන් තිදෙනකු කඩුලු 5 බැගින් දවාලූ පළමු අවස්ථාව ලෙසිනි.

එමෙන්ම සිම්බාබ්වේ දෙවැනි ඉනිමේදී කඩුලු 5 බැගින් උදුරාගත් පාකිස්තානු පන්දු යවන්නන් දෙදෙනාම වමත් පන්දු යවන්නන් වූ අතර, වසර 110කට පසු වමත් පන්දු යවන්නන් දෙදෙනකු එකම ටෙස්ට් ඉනිමක කඩුලු 5 බැගින් දවාලූ පළමු අවස්ථාව ලෙස එය වාර්තාපොතට එක් විය. මීට පෙර එම වාර්තාව තැබුවේ 1909 එංගලන්තයේ එජ්බැස්ටන් නුවරදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එංගලන්ත පිලේ ජෝර්ජ් හර්ස්ට් සහ කොලින් බ්ලයිත්ය. මේ තරගයේ ජයග්‍රහණයෙන් නායක බාබර් අසාම්ගේ පෞද්ගලික වාර්තාවක් ද බිහි විය. ඔහුගේ නායකත්වය යටතේ පාකිස්තානය තරග 4කට සහභාගි වූ අතර, එම තරග 4ම ජය ගැනීමට සමත් වී ඇත.

Related posts

Leave a Comment