වෙනත් නම්වලින් තහනම් කළ අන්තවාදි සංවිධාන ක්‍රියාත්මක වෙනවා ද..?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ දෙස් විදෙස් බුද්ධි අංශ ඇතුළු අංශ ගණනාවක් එක්ව පාස්කු කොමිසමේ නිර්දේශවලට අදාළව ශ්‍රී ලංකාවේ තහනමට ලක් කෙරුණු ඉස්ලාම් අන්තවාදී සංවිධාන එකොළහ වෙනත් නම්වලින් යළි ආරම්භ කර ඇද්ද යන්න සොයා බැලීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙලෙස රහසිගත ලෙස මෙම සංවිධාන පවත්වාගෙන යන බවට බුද්ධි අංශවලට ලද තොරතුරුවලට අදාළව මෙම විමර්ශන ආරම්භ කර ඇත. රහසිගත ලෙස ලියාපදිංචි නොකොට මෙම සංවිධානය පවත්වාගෙන යන්නේද යන්න සොයා බැලීමට මෙරට බුද්ධි අංශ කණ්ඩායම් ගණනාවක් ඔස්සේ විමර්ශන සිදු කරන බවත් මෙම රහසිගත සංවිධානයවලට විදේශ මුදල් ලැබෙන්නේ ද යන්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව බුද්ධි අංශ ප්‍රධානියෙක් පැවැසීය.

පාස්කු ප්‍රහාරයට ආධාර උපකාර කරමින් අනුබල දුන් දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන හයක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මින් පෙර සිදු කට විමර්ශනවලට අදාළව සංවිධාන 11ක් ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ බවට අනාවරණය වූ අතර ඒවා මේ වනවිට තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ. ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට තොරතුරු ලද සංවිධාන 32න් තවත් සංවිධාන විසි හතක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.

රාජ්‍ය නොවන සංවිධාන ලෙස ලියාපදිංචි කරමින් මෙරට ජීවත් වන ඉස්ලාම් ජාතිකයන්ගේ ආගමික, පරිසර, සමාජීය, සෞඛ්‍ය යන අංශ නඟා සිටුවීමට සහාය දෙන බවට පවසමින් එම සංවිධාන මෙරට ආගමික අන්තවාදය පතුරවාහැරීම සිදු කර ඇති බවත් සිදු කරන පරීක්ෂණ සඳහා මෙරට ඉස්ලාම් විද්වතුන්ගේ සහායට ලබා ගනිමින් සිදු කරන සෑම පරීක්ෂණයක්ම පාස්කු කොමිසම නිකුත් කළ නිර්දේශවලට අනුව සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, මෙරට බුද්ධි අංශ , විදේශ බුද්ධි අංශ ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ විමර්ශන සිදු කරන බවද පොලිසියේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

Related posts

Leave a Comment