ජෙරුසලමේ යුද ගිනි ඇවිළෙයි, දෙපාර්ශ්වයෙන්ම රොකට් ප්‍රහාර

ඊශ්‍රායල පොලිස් නිලධාරීන් නැගෙනහිර ජෙරුසලමේ අල් අක්සා මුස්ලිම් දේවස්ථානය අසලදී ඉස්ලාම් බැතිමතුන්ට පහරදීමේ සිද්දිය මේ වන විට ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු සටන් ඇවිළීමේ සිදුවීමක් බවට පත්වී තිබේ. රාමසාන් මාසයේ විශේෂිත දිනයක් වූ ‘ලෙයිලතුල් කදීර්‘ දිනයේ රාත්‍රී දේවමෙහෙයට පැමිණි ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් පළවා හැරීම සඳහා ඊශ්‍රායල පොලීසිය විසින් කරනු ලැබූ මේ පහරදීම නිසා කෝපයට පත් පලස්තීනු වැසියන් තුන්වැනි දිනයටත් විරෝධතාවක නිරතව සිටින අතර, පලස්තීන හමාස් සංවිධානය ද ඊට සහාය පළ කරමින් සිටී. ඉස්ලාම් බැතිමතුන්ට පහර දීමට ප්‍රතිචාර දැක්වූ හමාස් සංවිධානය ඊශ්‍රායලයට පෙරේදා රාත්‍රී රොකට් ප්‍රහාර ගණනාවක් එල්ල කළ අතර, මේ ප්‍රහාර හේතුවෙන් උතුරු ගාසා තීරයේ පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ. පෙරේදා රාත්‍රියේ දිගින් දිගටම හමාස් සංවිධානය රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඊශ්‍රායල හමුදාවත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් ගාසා තීරය එකම යුද පිටියක් බවට පත්විය. මේ ප්‍රහාර හේතුවෙන් දෙපාර්ශ්වයේම පුද්ගලයන් සිය ගණනක් තුවාල ලැබූ අතර තවත් පිරිසක් ජීවිතක්ෂයට පත් වුනි.

පෙරේදා රාත්‍රි ඊශ්‍රායලය පුරා සයිරන් හඬ පැතිරී ගිය අතර, ඊට මොහොතකට පසු හමාස් සංවිධානය විසින් එල්ල කරනු ලැබූ රොකට් ප්‍රහාර නගරයේ තැනින් තැන වැටී පුපුරා ගියේය. ඊශ්‍රායල පොලිසිය තව දුරටත් අල් අක්සා දේවස්ථානය ආක්‍රමණය කරන්නේ නම් ප්‍රහාර මීට වඩා දරුණු වනු ඇතැයි අනතුරු අඟවන හමාස් සංවිධානය මේ පණිවිඩය සතුරන් හොඳින් අවබෝධ කරගනු ඇතැයි ප්‍රකාශ කර තිබේ. තුන්වැනි දිනයටත් සටන් ඇවිළෙමින් තිබෙන අතර, වහා සන්සුන් වන්නැයි එක්සත් ජනපදය, යුරෝපා සංවිධානය ඇතුළු රටවල් රැසක් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියේය. ඉස්ලාම් මෙන්ම කතෝලික ජනතාවගෙත් ශුද්ධ භූමියක් ලෙස සැලකෙන ජෙරුසලමේ නැගෙනහිර පළාත මීට දශක කිහිපයකට පෙර ඊශ්‍රායලය අත්පත් කරගනු ලැබුවත්, එහි ඉස්ලාම් දේවස්ථානයේ දේව මෙහෙයන් සිදුකිරීමට පලස්තීන වැසියන්ට අවසර ලැබී තිබිණි. කෙසේ වුවත් රාමාසන් මාසයේදී පලස්තීන වැසියන් අතිවිශාල ප්‍රමාණයක් අල් අක්සා දේවස්ථානයට රැස්වීමෙන් ඇතිවූ කළබලකාරී වාතාවරණය මැඩපැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරීන් බැතිමතුන්ට පහර දීමෙන් පසු දෙපාර්ශ්වය අතර යුද උණුසුමක් මතු වී ඇත.

Related posts

Leave a Comment