” Hungama Mobile App” ඔස්සේ ති.නා. චිත්‍රපට එකතුවක්

දුරකතන සේවා සමාගම් වෙනුවෙන් අගය එකතු කළ සේවා පිරිනැමීමේ ප්‍රමුඛයා වන Evoke International සමාගම, චිත්‍රපට සංරක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන තිස්ස නාගොඩවිතාන මහතා සතුව පැවති චිත්‍රපට එකතුවට අයත්, තෝරා ගත් චිත්‍රපට පෙළක් සඳහා සීමිත සුවිශේෂී ජංගම බලපත්‍ර හිමිකම් (Mobile Licensing Rights) ගෙන තිබේ. දශක ගණනාවක් පුරා නිර්මාණය වූ චිත්‍රපට රාශියක් මේ එකතුවට ඇතුළත් වී ඇත. මින් ඉදිරියට මේ චිත්‍රපට, දකුණු ආසියාවේ ජනප්‍රියම streaming සේවාව ලෙස සැලකෙන Hungama Play Mobile App ඔස්සේ නැරඹිය හැකි වෙඉ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Evoke International සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ ලහිරු වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය,

“දේශීය සමාගමක් ලෙස විශේෂයෙන්ම සිංහල චිත්‍රපට විශාල සංඛ්‍යාවක් ඇතුළත් මෙවැනි සුවිශේෂී චිත්‍රපට එකතුවක හිමිකම් ගැනීමට මෙන්ම එම චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට සමීප කරවීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් ආඩම්බර වනවා. මේ වැඩසටහන ඔස්සේ දේශීය සිනමාව සම්බන්ධයෙන් තරුණ පරපුර තුළ ඇති උනන්දුව තව දුරටත් වර්ධනය වනු දැකීම අපගේ බලාපොරොත්තුවයි.”

Evoke සහ Hungama අතර හවුල්කාරීත්වය ආරම්භ වූයේ 2013 වසරේදීය. එදා පටන්, Hungama හි අතිවිශාල චිත්‍රපට සහ වීඩියෝ එකතුව නැරඹීම සඳහා දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව දීමට Evoke International සමාගමට හැකියාව ලැබී තිබේ. ඉංග්‍රීසි, හින්දි, දෙමළ හා තෙලිඟු වැනි භාෂාවලට අයත් චිත්‍රපට 5,000 කට අධික සංඛ්‍යාවක්, පැය 7,500 කට අධික ළමා වැඩසටහන් සහ සංගීතය, විකට වැඩසටහන් ඇතුළු විවිධ කාණ්ඩවලට අයත් වැඩසටහන් 150,000 කට අධික සංඛ්‍යාවක් Hungama ඔස්සේ නැරඹිය හැකි වෙයි.

Related posts

Leave a Comment