එන්නත්කරණය සහ පුරවැසි වගකීම

විපක්ෂය පවසන ආකාරයට එන්නත් ලබා ගැනීම බේත් කඩයට ගොස් පස් පංගුව පැකැට්ටුවක් ගන්නවා මෙන් සරලය. ඩිස්පෙන්සරියට ගොස් පිටගැස්මට එන්නතක් ගන්නවා මෙන් පහසුය. එහෙත් ඇත්ත එය නොවේ. කොවිඩ් එන්නත් ලබා ගැනීමට ඇත්තේ විශාල තරගයකි. කොවිඩ් බලවත් ලෙස පැතිරී ගිය රටවල් එකසිය හැත්තෑවකට වඩා මේ සටනේ සිටිති. එබැවින් මුදල් තිබුණා යැයි කියා මේ එන්නත මිලට ගැනීම පහසු නැත. මේ වන විටත් ප්‍රමිතියෙන් ඉහළ එන්නත් මිලට ගැනීමටත් එය ක්‍රමානුකූලව අනතුරුදායක සහ සමාජයේ ගැටෙන පිරිස් වෙත ලබා දීමටත් කටයුතු කර තිබේ.

කොරෝනා හෙවත් කොවිඩ් දහනවය ලෙස හදුන්වන වසංගත රෝගයට දැනටමත් ලෝකයේ කෝටි ගණනක මිනිසුන් ගොදුරුව තිබේ. මේ වන විට වසංගතයෙන් මිය ගිය ප්‍රමාණය ලක්ෂ තිස් දෙකේ සීමාවද ඉක්මවා ගොස් ඇත. මහා බලවත් අමෙරිකාව මෙන්ම වත්පොහොසත් කමින් ඉහළ ඉතාලිය ඇතුළු යුරෝපයම දණ ගස්වන්නට කොවිඩ් වයිරසයට හැකියාව ලැබුණි.අපේ රටේ මුල්ම රෝගියා 2020 ජනවාරියේ හමු වූ අතර, පළමු ශ්‍රී ලාංකේය රෝගියා එම වසරේම මාර්තුවේ හමු විය. එදා පැවති තත්ත්වයට අනුව රට පුරා ඇදිරි නීතිය හා සංචරණ සීමා පනවමින් වසංගතය පාලනය කිරීමට ආණ්ඩුවට සහ අපේ සුව සේවයට හැකියාව ලැබුණි. එදා ඇතිවීමට ගිය අනතුර පාලනය කිරීමට හැකි වීම අගය කළ යුතු අතර, එදා රෝගය පාලනය කිරීමට කිසිදු බෙහෙතක් හෝ එන්නතක් නොතිබුණි. ගත හැකි එකම පියවර වූයේ රට වසා දැමීමත් ඇඳිරි නීතිය පැනවීමත් පමණි. එදා ලෝකය අනුගමනය කළ ක්‍රමය වූයේද එයයි. එහෙත් එමඟින් රටේ ආර්ථිකය සහ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටුණි.

  • ආර්ථික අර්බුද

ලෝකයේද ආර්ථික අර්බුද ඇති වූ අතර ලක්ෂ ගණනකගේ ජීවන මං පෙත් ඇහිරිනි. එහෙත් වසංගතය සම්පූර්ණයෙන්ම මෙල්ල කිරීමට මෙම උපක්‍රමවලට හැකියාව නොලැබුණ අතර, අප රටටද එය පොදු දෙයක් විය. අගෝස්තුව වන විට රට සාමාන්‍යකරණය වී ජන ජීවිතය යළිත් හිස එසවූවද එය එතරම් දිගු කාලයකට නොවුණි. ඔක්තෝබරය වන විට නැවතත් මෙරට කොවිඩ් නැගී ආවේ යෝධ රළක් මෙනි. මිනුවන්ගොඩින් පටන් ගත් කොවිඩ් පොකුර රට පුරා ව්‍යාප්ත වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හරහාය. එසේ පැතිර ගිය රැල්ල ආසාදිතයන් ලක්ෂය ඉක්මවා යාමට ගත වූයේ කෙටි කාලයකි. අපේ රටේ ඇතිවුණු කොවිඩ් රැල්ලෙන් වැඩි ආසාදිතයන් සහ අඩු මරණ ලෙස වාර්තා වුවද ලෝකයේ තත්ත්වය එසේ නොවුණි. අමෙරිකාව ‘විසාලාවක්’ මෙන් විය. ඉතාලියේ මළ සිරුරු රැගෙන ගියේ ට්‍රක් රථ පුරවමිනි. ඒ තත්ත්වය තුළ වසංගතය පාලනයෙන් ගිලිහී ගිය අතර, මිනිස් ජීවිතවලට ලැබුණේ අඩු වටිනාකමකි. මේ පසුබිම යටතේ වසංගතය මෙල්ල කිරීම සදහා ලෝකය ගත් ක්‍රියාමාර්ගය වූයේ කොවිඩ්වලට ඔරොත්තු දෙන ආකාරයේ ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය වෙත යොමුවීමය. රුසියාව, එංගලන්තය, ඉන්දියාව, චීනය ඇතුළු රටවල් මේ සදහා යොමු විය. මාස කිහිපයක් ඇතුළත ඔවුනගේ උත්සාහය මල්ඵල ගැන්වුණි. එන්නත් ක්‍රමය සාර්ථක විය. අතීතයේ ලෝකය පුරා පැතිර ගිය කොවිඩ් පරදවන තරමේ මහා වසංගත පාලනය කරන ලැබුවේද එන්නත්කරණය මඟිනි. අවසානයේ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ කොවිඩ් වැනි ආක්‍රමණශීලී වයිරසයක් පාලනය කිරීම සංචරණ සීමා කිරීමෙන් පමණක් කළ නොහැකි බවය. ඔවුන්ගේ නිගමනය වූයේ එන්නත්කරණය ඉක්මන් කළ යුතු බවකි.                     

  • එන්නත්කරණය

එන්නත්කරණය ප්‍රධාන වශයෙන් භාවිත කළ හා සාර්ථක ප්‍රතිඵල පෙන් වූ රටවල් හතක් තිබේ. එහිදී චීනය, අමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, තුර්කිය එන්නත් වැඩිම මාත්‍රා ප්‍රමාණයක් ලබා දුන් රටවල් ය. චීනය මාත්‍රා මිලියන 270ක් ලබා දී තිබේ. අමෙරිකාව මාත්‍රා මිලියන 243ක් භාවිත කර තිබේ. එංගලන්තය මාත්‍රා මිලියන 49ක් ලබා දී තිබේ. කොවිඩ් දෙවැනි රැල්ලෙන් මහා හානියක් ඇති වූ අමෙරිකාව, එංගලන්තය, ඉතාලිය සැනසිලිදායක තැනකට ගෙනැවිත් තිබෙන්නේ එන්නත්කරණය නිසාය. කොවිඩ් තුන්වැනි රැල්ලෙන් ආසියාව බැට කද්දී ඔවුන්ට එයින් ගැලවීමට හැකි වීමේ රහස එන්නත්කරණය යැයි සදහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.                                 

අප රටද දැන් කොවිඩ් මෙල්ල කිරීම සදහා ප්‍රධාන අවිය බවට පත්කරගෙන තිබෙන්නේ ප්‍රතිශක්තිකරණ එන්නතයි. ඒ සඳහා රජය පූර්ණ ලෙස කැපව කටයුතු කරති. පසුගිය දා පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී ජනාධිපතිතුමා උපදෙස් දී ඇත්තේ එන්නත්කරණය කඩිනම් කරන ලෙසය. ජනාධිපතිතුමාගේ එම ප්‍රවේශය වඩාත් වෛද්‍ය විද්‍යනුකූල තීරණයකි. පසුගිය පෙබරවාරි මාසය වන විට එන්නත්කරණ වැඩපිළිවෙළ ආණ්ඩුව විසින් ආරම්භ කළ අතර ඇස්ට්‍රාසෙනිකා ඉන්දියානු එන්නත් මාත්‍රා ලක්ෂ නවය හමාරක් සමාජයේ ඉදිරි පෙළ ගැටෙන සමාජ කණ්ඩායම් වෙත ලබා දී ඇති අතර ඉන්දියාවේ ඇති වූ හදිසි වාතාවරණය නිසා එන්නත් ඉතිරි තොග ලබා ගැනීමේ ගැටලු ඇති විය. එහෙත් බලධාරීන් ගත්, එන්නත්කරණයට පළමු තැන හිමි කර දිය යුතුය යන අදහස නිවැ‍රැදිය. දැන් ආණ්ඩුව එන්නත්කරණය ඉදිරියට ගෙන යා යුතුය යන ස්ථාවරයේ පසුවන අතර, ඒ සදහා රුසියානු සහ චීන එන්නත් ලබා දීමටත් ඉන්දියානු එන්නතේ දෙවැනි මාත්‍රාව සොයාගැනීමටත් කටයුතු කර තිබේ. මේ සියල්ල ඉබි ගමනේ කරන ඒවා නොව වේගවත්ව කරන වැඩසටහන්ය.  

  • විපක්ෂය

එහෙත් මේ මොහොතේ සමහර සේවක සමිති සහ විපක්ෂ කණ්ඩායම් ආණ්ඩුවට කෙළින්ම ඇඟිල්ල දිගු කරති. “කෝ වැක්සීන් එක?” ඔවුන් ප්‍රශ්න කරන්නේ සරදම් ස්වරයෙනි. එහෙත් ඔවුනගේ සරදම් ස්වරය වැරැදිය. එම කණ්ඩායම් ආණ්ඩුවට චෝදනා එල්ල කරන්නේ ඇත්ත නොදැන නොවේ. ඇත්ත දැනගෙන රටේ මිනිසුන් මුළා කිරීමේ අටියෙනි. විපක්ෂය පවසන ආකාරයට එන්නත් ගැනීම බේත් කඩයට ගොස් පස් පංගුව පැකැට්ටුවක් ගන්නවා මෙන් සරලය. ඩිස්පෙන්සරියට ගොස් පිටගැස්මට එන්නතක් ගන්නවා මෙන් පහසුය. එහෙත් ඇත්ත එය නොවේ. කොවිඩ් එන්නත් ලබා ගැනීමට ඇත්තේ විශාල තරගයකි. කොවිඩ් බලවත් ලෙස පැතිරී ගිය රටවල් එකසිය හැත්තෑවකට වඩා මේ සටනේ සිටිති. එබැවින් මුදල් තිබුණා යැයි කියා මේ එන්නත මිලට ගැනීම පහසු නැත. මේ වන විටත් ප්‍රමිතියෙන් ඉහළ එන්නත් මිලට ගැනීමටත් එය ක්‍රමානුකූලව අනතුරුදායක සහ සමාජයේ ගැටෙන පිරිස් වෙත ලබා දීමටත් කටයුතු කර තිබේ. මෙය ලියන මොහොතේ පවා රටේ ස්ථාන රැසක කොවිඩ් එන්නත් කිරීම් සිදු කරති.

  • සුව අංශ

එසේ වේගවත් කරන ලද එන්නත්කරණය ඉදිරි කාලයේදී වඩාත් වේගවත් ලෙස සමාජය වෙත ලබාදීමට මේ වන විට අලුත් සැලසුම් රැසක් ක්‍රියාවට නංවා ඇත. මෙහිදී ආණ්ඩුව සුව අංශවල උපදෙස් සහ මඟ පෙන්වීම අනුව කටයුතු කිරීම සිදු කිරීම වැදගත්ය. කඩිනම්ව චීනයේ නිෂ්පාදනය කරනු ලබන එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් පමණ මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබෙන අතර එය මෙරට එන්නත්කරණයට ලැබෙන විශාල පිටිවහලකි. එමෙන්ම ක්ෂේත්‍රයේ සිටින නිලධාරීන් සහ සේවකයන් වෙත එන්නත් දීම වඩාත් සුදුසු වන්නේ එමඟින් නිලධාරීන්ගෙන් සමාජයටත්, සමාජයෙන් නිලධාරීන් වෙතත් රෝගය පැතිර යාම පාලනය කළ හැකි බැවිනි.           

පසුගිය කොවිඩ් එන්නත්කරණයේදී සිදු වූ එක් අඩුපාඩුවක් වූයේ තදබදය සහ එන්නත් දීමේ පිළිවෙළහි අඩුපාඩුය. ඒ තත්ත්වය නිසි ලෙස වෙනස් කළ යුතු අතර එමඟින් එන්නත්කරණය ගැන ජනතාව තුළ පුළුල් විශ්වාසයක් සහ උනන්දුවක් ඇති වේ. ආසාදිතයන් වැඩිපුර හමුවන ප්‍රදේශවලට මුල් තැන දීමත් එම ප්‍රදේශවල එන්නත්කරණය නිම කිරීමෙන් රැලි ආකාරයෙන් රෝගය මතුව ඒම පාලනය කළ හැකිය. හුදෙකලා ආසාදිතයන් හමු වීම තව කලක් සිදුවීමට ඉඩ තිබුණද එමඟින් විනාශකාරී තත්ත්වයක් ඇති නොවේ. රෝගය පාලනය කළ රටවල තත්ත්වය එසේය.                            

  • සමාජ වගකීම

එහෙත් මෙම එන්නත්කරණය සතියකින්, දෙකකින් විගස නිම කළ හැකි දෙයක් නොවේ. එයට සාධාරණ කාලයක් අවශ්‍ය කෙරේ. එතෙක් සමාජයේ සිටින අපටද වගකීමක් තිබේ. එනම් එන්නත් ලැබෙන තුරු පරෙස්සම් වීමය. රටකට වසංගතය නිමාවන තුරු ඇඳිරි නීතිය පනවා තිබීමට හැකියාවක් නැත. විශේෂයෙන්ම අප වැනි රටකට එය කළ නොහැකිය. එයට හේතුව වන්නෙ ජනගහනයෙන් සියයට හැත්තෑවකට කිට්ටු පිරිසක් දෛනික ආදායම් ලබන පිරිස් වීමය. ඔවුනට එදිනෙදා නඩත්තුවට මුදල් අවශ්‍යය. එමෙන්ම මෙරට ආර්ථිකයේ දැති රෝදයේ ඔවුනට ලොකු කොටසක් හිමිය. එනිසා කළ හැකි දේ වන්නේ එන්නත ලැබෙන තෙක් අප පරිස්සම් වීමය. අප පෙර පාසල් යන සිඟිත්තන් නොවේ. යමක් අවබෝධ කර ගැනීමට හැකියාවක් තිබේ. එනිසා වර්තමානයේ අප අභියස ඇති අභියෝගය ජය ගත හැක්කේ අවබෝධය තුළිනි.

Related posts

Leave a Comment