අඩු අදායම්ලාභීන් සහ මධ්‍යම පාන්තිකයන් වැඩි පිරිසකට නිවාස දෙන්න – අගමැති

අඩු අදායම්ලාභීන් සහ මධ්‍යම පාන්තිකයන් වැඩි පිරිසකට නිවාස දීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේදී පසුගියදා (11) පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව දැනුම් දුන්නේය.

අඩු ආදායම්ලාභීන් සහ මධ්‍යම පාන්තිකයන් සඳහා යෝජිත නිවාස ව්‍යාපෘති මෙන්ම දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ රාජපක්ෂ මහතා මෙහිදී අවධානය යොමු කළේය.

එම ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව කඩිනමින් නිමා කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා විසින් විෂය භාර ඇමැතිවරයා වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

මේ අතර බම්බලපිටිය සහ නාරාහේන්පිට ප්‍රදේශවල ඉදි කිරීමට යෝජිත නිවාස ව්‍යාපෘති සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කඩිනම් කරන ලෙසත් අදාළ කොන්ත්‍රාත් සමාගම් දැනුවත් කර වැඩි පිරිසකට නිවාස පහසුකම් හිමි වන පරිදි එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දුන්නේය.

මේ අවස්ථාවට රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කීර්ති රංජිත් අබේසිරිවර්ධන, නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඩී. ඒ. පියසේන වීරරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කේ. ඒ. ජානක, නීති නිලධාරි ඩී. එම්. ජයලත් මහත්වරුන් එක්ව සිටියහ.

Related posts

Leave a Comment