කාබනික පොහොර භාවිතයට එළඹුණේ ඇයි..?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ කාබනික පොහොර භාවිතයට එළඹුණේ නීරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් බවයි. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කර තිබෙන අතර, එලෙස ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් ක්‍රියාත්මක වීම රජයක වගකීමක් බවද ඒ මහතා පෙන්වා දෙයි. කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට මීට පෙර පැවති රජයන් උත්සාහ කළද එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකි වූ බව සිහිපත් කරන ගෝඨාභය රාජපක්ෂ මහතා මෙය අභියෝගාත්මක ක්‍රියාවක් හා අපහසු නමුත් නිවැරදි ක්‍රමෝපාය හඳුනා ගෙන රට වෙනුවෙන් කළ යුතු කාර්යයක් බවද අවධාරණය කරයි. ‘දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ‘ සාමාජිකයන් සමඟ පෙරේදා (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සටියේය. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා සහ දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජිකයෝද මේ අවස්ථාවට එක්ව සිටියහ.

කාබනික පොහොර භාවිතයේදී අස්වැන්න අඩුවී ආදායමේ වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී මිලදී ගැනීමට රජය සූදානම් බවත් ගොවියා ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා පාරිභෝගිකයාට පවතින මිලට සහල් ගත හැකි පරිදි වැය බර දැරීමට රජය සූදානම් බවද සඳහන් කළේය. රසායනික පොහොර ආනයනය කළ සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට ආණ්ඩුව සූදානම් යැයි හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය. ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේදී ඇතැම් සටන් පරාජය විය. අවසානයේදී ත්‍රස්තවාදය පරාජය කර රට දිනවූවා සේ සියලු අභියෝග ජය ගනිමින්, ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ගැනීමේ අයිතිය දීමට ආණ්ඩුව සූදානම් බව ජනාධිපති විශේෂ නියෝජිත හා කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මේ සාකච්ඡාවට සහභාගි වෙමින් පැවසීය. හැටේ දශකය ආරම්භයේ සිට රසායනික පොහොර භාවිතයට හුරු පුරුදුව ඇති මෙරට කෘෂිකර්මාන්තය කාබනික පොහොර භාවිතය වෙත යොමු කරවීම යුද්ධයෙන් රට බේරා ගත්තා සේම ජනතාවට දෙන විශේෂ ජයග්‍රහණයක් බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දුන්හ.

Related posts

Leave a Comment