ක්‍රීඩා සංගම් නිලවරණ “Zoom” වීඩියෝ තාක්ෂණයෙන්

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ප්‍රකාශ කලේ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සංචාරණ සීමා නිසා ක්‍රීඩා සංගම් නිලවරණ කල් යනු ඇතැයි අදහස් පළවූවත් එවැනි තීරණයකට පැමිණ නොමැති බවටයි. දැනට පවතින තත්ත්වය මත පනවා ඇති සංචරණ සීමා මේ මස 30 වැනිදා නිමාවන බැවින් 31 වැනිදාට නිලවරණය පැවැත් වීමට කටයුතු යොදන ලෙස මෙතෙක් නිලවරණ පවත්වා නැති සියලු ක්‍රීඩා සංගම් වෙත දන්වා යැවූ බවත් ‘දිනමිණ’ කළ විමසුමකදී අමල් එදිරිසූරිය මහතා කියා සිටියේය. ඉදිරියේදී රටේ පවතින කොවිඩ් තත්ත්වයේ යම් වෙනසක් සිදු වන්නේ නම් එම දිනය වෙනස් විය හැකි වුවත්, බොහෝ ක්‍රීඩා සංගම්වලට ‘සූම්’ වීඩියෝ තාක්ෂණය ඔස්සේ නිලවරණය පැවැත්වීමේ හැකියාව ඇති බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය. රහස් ඡන්දයක් පැවැත්වෙන පාපන්දු සංගම් නිලවරණයට පමණක් ‘සූම්’ තාක්ෂණය භාවිත කළ නොහැකි බව සඳහන් කළ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සාමාන්‍ය ඡන්ද විමසීමක් සිදු කෙරෙන සෙසු ක්‍රීඩා සංගම් නිලවරණ සඳහා එම තාක්ෂණය භාවිතයට ගත හැකි බව පවසා සිටියේය.

එමනිසා මේ මස පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය ඇතුළුව බොහෝ ක්‍රීඩා සංගම් නිලවරණ ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇතැයි අමල් එදිරිසූරිය මහතා කීවේය. මේ අතර ක්‍රිකට් නිලවරණය ද නියමිත පරිදි මේ මස 20 වැනිදා පැවැත්වෙන බව ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. ක්‍රිකට් නිලවරණය සඳහා දැනට කිසිදු බාධාවක් නොමැති බවත්, වෙනසක් සිදුවන්නේ නම් එය ඉදිරියේදී රටේ පවතින කොවිඩ් තත්ත්වය අනුව බව කියා සිටියේය. කොවිඩ් වසංගත තත්ත්වය මත හුදෙකලා කළ ප්‍රදේශවල සිටි විරෝධතා ගොනු කළ පාර්ශ්වයන්ට නෙට්බෝල් නිලවරණයේ විරෝධතා විභාග කිරීමේ දිනය වූ පසුගිය 5 වැනිදා පැමිණීමට නොහැකි වීම නිසා මේ මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නෙට්බෝල් නිලවරණය පමණක් කල් දැමීමට දැනට තීරණය වී ඇති බව ඔහු පවසා සිටියේය.

Related posts

Leave a Comment