වොට්ලින් ක්‍රීඩාවෙන් සමු ගනී

බීජේ වොට්ලින් (බ්‍රැඩ්ලි ජෝන් වොට්ලින්) නිවේදනය කලේ එළැඹෙන එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රීඩාවෙන් සමුගන්නා බවයි. නවසීලන්ත පිලේ කඩුලු රකින පිතිකරු . එංගලන්ත පිල සමඟ ටෙස්ට් තරග දෙකකටත්, අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙහෙයවන ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉන්දියාව සමඟ පැවැත්වෙන අවසන් මහා තරගයටත් සහභාගි වීම සඳහා වොට්ලින් ඇතුළු නවසීලන්ත කණ්ඩායම එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතය. 35 හැවිරිදි වොට්ලින්ට මේ තරග 3ටම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන්නේ නම් නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභාගි වන ක්‍රීඩකයා වීමේ ගෞරවය දිනා ගැනීමට හැකි වනු ඇත. නවසීලන්ත පිලේ හිටපු නායකයකු වන ඇඩම් පැරෝරේ දැනට මේ වාර්තාවට හිමිකම් කියයි.

‘මේක තමයි ක්‍රීඩාවෙන් සමුගැනීමට හොඳම වෙලාව’ සිය නිවේදනය නිකුත් කරමින් වොට්ලින් එසේ කීවේය.

‘කණ්ඩායමේ සෙසු සගයන් සමඟ එකම ක්‍රීඩාගාරයක කාලය ගත කිරීම විශාල සතුටක් වුණා. ඒත් මගේ පෞද්ගලික ජීවිතයේ මඟ හැරුණු දේවල් තව ගොඩාක් තියෙනවා. මම දරුවන් සමඟ වැඩිපුර කාලය ගත කරනවාට මගේ බිරිඳත් නොඉවසිල්ලෙන් බලාගෙනයි ඉන්නේ.’ ඔහු කීවේය.

නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 73කට ක්‍රීඩා කර ඇති වොට්ලින් එහිදී ශතක 8ක්, ද්විත්ව ශතකයක් සහ අර්ධ ශතක 19ක් රැස් කිරීමට සමත් වූ අතර, ඔහු රැස් කළ මුළු ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 3773කි. එක්දින තරග 28කට සහ විස්සයි20 තරග 5කටත් ඔහු ක්‍රීඩා කර තිබේ.

Related posts

Leave a Comment