ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක්

ගාසා තීරයේ සහ ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනකු ඝාතනයට ලක් වීමත් සමඟ පලස්තීන සටන්කාමීන් සහ ඊශ්‍රායල් හමුදාව අතර වෙඩි හුවමාරුව අඛණ්ඩව සිදු වෙමින් පවතී. සඳුදා රාත්‍රියේ සිට සටන්කාමීන් ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර 400කට වැඩි ප්‍රමාණයක් එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායල හමුදාව ඊට ප්‍රතිචාර ලෙස ගාසා තීරයේ ඉලක්ක 150කට ප්‍රහාර එල්ල කර ඇත. පෙරේදා ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාර මගින් ගාසා තීරයේ තට්ටු 12ක ගොඩනැගිල්ලක් වන අල් ජවහිරා කුලුන මුළුමනින්ම විනාශයට පත් වූ අතර, ඊට පෙර එම ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පලස්තීන සටන්කාමීන් පියවර ගෙන තිබිණි. මේ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය ඊශ්‍රායලයේ ප්‍රධාන වෙළෙඳ නගරය වන ටෙල් අවීව් නගරය ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර 200කට වැඩි ප්‍රමාණයක් එල්ල කළේය. දින ගණනාවක් පුරා උද්ගත වී ඇති මේ යුද උණුසුම වසර 2014 දී දෙපාර්ශ්වය අතර පැවැති ගැටුම්වලින් පසු සිදු වූ බරපතළම ගැටුම මෙය බව අන්තර්ජාතික යුද විශ්ලේෂකයෝ පවසති.

Related posts

Leave a Comment