බ්‍රිතාන්‍යයේ සුපිරි ගායිකාව සම්මාන දිනයි

බ්‍රිතාන්‍යයේ සුපිරි ගායිකා “Dua Lipa” වසරේ හොඳම ගීත ඇල්බමයට හිමි බ්‍රිට් සම්මානය දිනා ගැනීමට සමත් වූවාය. බටහිර ගීත ක්ෂේත්‍රය තුළ සරාගී ගායිකාවක ලෙස ප්‍රකට 25 හැවිරිදි ඩුවා ලිපාට මේ සම්මානය හිමි වූයේ පසුගිය වසරේදී ඇය විසින් නිකුත් කරනු ලැබූ “Future Nostalgia”ගීත ඇල්බමයටය. මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඩුවා ලිපා වසර 2017 දී නිකුත් කළ ඇගේ මංගල ගීත ඇල්බමය එක්සත් රාජධානියේ හොඳම ගීත ලැයිස්තුවේ වඩාත්ම ජනප්‍රිය ගීත රැසක් එකතු කර තිබිණි. ආරාධිතයන් 4000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පෙරේදා ලන්ඩන් නුවර පැවැති බ්‍රිතාන්‍ය පොප් ගායක ගායිකාවන්ගේ විශිෂ්ටතම සම්මාන උලෙළ වන බ්‍රිට් සම්මාන උලෙළේදී මෙවර කාන්තා පාර්ශ්වයට වැඩි සම්මාන ප්‍රමාණයක් හිමි වීම විශේෂත්වයක් විය.

මීට පෙර බ්‍රිට් සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කියා ඇති ඩුවා ලිපා මෙවර සම්මාන උලෙළේදි හොඳම ගායිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ද සමත් වූවාය. වසර 2018දී ස්කොට්ලන්ත ගායක කැල්වින් හැරිස් සමඟ එක්ව ඇය විසින් ගයන ලද “One Kiss” ගීතය එක්සත් රාජධානියේ හොඳම ගීත දර්ශකයේ වැඩි වාර ගණනක් පෙරමුණ ගැනීමට සමත් වූ අතර, එය වාර්තාපොතට එක් වූයේ වසර 2018දී වැඩිම කාලයක් අංක එකේ ස්ථානයේ රැඳුණු ගීතය ලෙසිනි.

Related posts

Leave a Comment