දඩ ගෙවන්න බැරිව රිමාන්ඩ් වුණ කෙනා ගෙදර නිරෝධායනය වෙද්දී දිවි නසාගෙන

කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධායනය කළ පුද්ගලයකු සිය නිවස පිටුපස කොස් ගසක එල්ලී පෙරේදා (11 දා) ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි මත්තෙගොඩ පොලිසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොල්ගස් ඕවිට, කිරිගම්පමුණුව පදිංචිව සිටි 54 හැවිරිදි අයෙකි.

ඉකුත් අවුරුදු සමයේදී රියැදුරු බලපත‍්‍රයක් නොමැතිව මෙම පුද්ගලයා බීමතින් යතුරුපැදියක් පැදවීමේ වරදට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී රුපියල් 50,000 ක දඩයක් නියම කළ අතර එම මුදල ගෙවීමට නොහැකිවීම හේතුවෙන් ඔහු බන්ධනාගාර ගතකළ බව පැවසේ.

පසුව ඉකුත් 04 දා බන්ධනාගාරයෙන් නිදහස්ව නිවසට පැමිණීමත් සමඟ නිරෝධායන නීතිය අනුව මෙම පුද්ගලයාව දින 14 ක් නිරෝධායනයට ලක්කර තිබුණි.

පසුව මෙම පුද්ගලයා සිය නිවස පිටුපස කොස් ගසක අඩි තිහක පමණ උසින් පිහිටි අත්තක මෙසේ ගෙල වැළලා ගෙන සිය දිවි හානි කරගෙන තිබූ බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය, කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට රැුගෙන යන ලෙස හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කළේය. පී.සී.ආර් පරීක්‍ෂණ වාර්තාව ලැබීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මත්තෙගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත පො.සැ. (56800) සෝමරත්න මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Related posts

Leave a Comment