කළයුතු දේ අවශ්‍ය වේලාවට කෙරෙනවා…. රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

ප‍්‍රශ්නය – ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වසංගත රෝග අංශයේ විද්‍යාගාරයේ ප‍්‍රධානියා කොවිඞ් වර්ධනය මේවනවිට දවසින් දවස ඉහල යනවා කිව්වා. ලබන මාසය ඉතාමත් තීරණාත්මක මාසයක් කියා කිවුවා. දැන් අපි කුමක් කළයුතුද?

පිළිතුර – ලබන මාසය මේ යන විදියට තීරණාත්මක වේවි කියන එක අපි පිළිඅරන් තියෙනවා. අපිට ඒ සූදානම සඳහා අවශ්‍ය උපදේශන හා විශේෂඥ උපදේශන ලැබිලා තියෙනවා වගේම රජය ඒ සඳහා සූදානම්වීමක් කරනවා විශේෂයෙන්ම දැඩි සත්කාර ඒකක ගැන. ඒ වගේම තමයි නිරෝධායන කි‍්‍රයාවලිය ගැනත් අපි දැන් ලොකු සූදානමක් වෙනවා. රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන හැම කෙනෙක්ම අපි නිරෝධායන මධ්‍යස්ථාන කරා යවන්න පහසුකම් සලසනවා.අපි දේශපාලන පක්‍ෂයක් ලෙස නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ඇඳන් 10,000 ක් හදන්න පියවර ගත්තා. අපි කිව්වෙ නැහැ ඒවා අපි හදන්නේ අයි සී යූ සඳහා කියා. ඒවා නිරෝධායන මධ්‍යස්ථාන වලට. නමුත් කුහක අදහස් තියෙන විපක්‍ෂයේ අය එම ඇඳන් පෙන්නලා සමාජ මාධ්‍යවල ප‍්‍රශ්න කරනවා මේවාද මේ ආණ්ඩුවේ අයි සී යූ ඇඳන් කියලා. ඒ වගේ නොමේරූ මනසින් හිතන ළදරුවෝ පිරිසකුත් අපි අතර ඉන්නවා. ඔබ ඇසූ අවසන් ප‍්‍රශ්නයට උත්තරය ඔව්. අපි දැන් ඒ අභියෝගයට සූදානම් කියන එක තමයි.

ප‍්‍රශ්නය – ඔබ ඔහොම විපක්‍ෂයේ කාර්යභාරය හෑල්ලූවට ලක්කරනවා. නමුත් මේ විපක්‍ෂ නායක පසුගිය දවස්වල කොවිඞ් මර්දනය කරන්න ලංකාවේ ආණ්ඩුවට උදව් කරන්න, එන්නත් ලබාදෙන්න කිය කිය තානාපති කාර්යාල ගණනාවකට ගිය හැටි අපි දැක්කා.

පිළිතුර – අපි රටට අවශ්‍ය එන්නත් හා සෞඛ්‍ය පහසුකම් මෙන්ම ඔක්සිජන් අවශ්‍ය වුණොත්

ලබාගන්න චීනය, රුසියාව වගේ රටවල් ගණනාවක් එක්ක සාකච්ඡුා කළා. ඒ සඳහා අපට උදව් කරන්න ඒ රටවල් එකඟ වුණා. ඒ අනුව ඔක්සිජන් එන්නත් හා අනිත් පහසුකම් අනුවත් අපට ලැබෙනවා. එහෙම එකඟතාවක් තිබෙන වෙලාවක විපක්‍ෂ නායකතුමා ඒ අදාළ රටවල තානාපතිවරුන් හම්බ වෙලා එබඳු ඉල්ලීමක් රට වෙනුවෙන් කිරීම ගැන මගේ නම් විරුද්ධත්වයක් නෑ.

හැබැයි මම තවම හිතන්නේ නැහැ එතුමාගේ චේතනාව පිරිසිදුයි කියලා. රඟපෑමට හරි එතුමා ඒ දේ කළ එක ගැන මට සතුටුයි. හැබැයි ප‍්‍රමාද වැඩියි. එතුමා එහෙම කළාට කමක් නැහැ. රටේ තියෙන වැරදි, අඩුපාඩු ලෝක නායකයන්ට කිය කිය ඉන්නේ නැතුව මේ වැඬේ මීට කලින් කළානම් එතුමට රටේ ජනතාවගෙන් ලොකු ගෞරවයක් ලැබෙන්න තිබුණා. යුතුකමක් තිබුණා. මොකද මේ කොවිඞ් හැදෙනකොට මෙයා යූ. ඇන්. පී මෙයා ජේ. වී. පී මෙයා පොහොට්ටුවේ කියල බල බල නෙවෙයිනේ ලෙඩ හැදෙන්නේ. ලෙඬේ හැදුනොත් එතන දේශපාලන පක්‍ෂ පාට භේද කිසිවක් අදාළ නෑ. කොවිඞ් 19 ජාතිවාදී අර්බුදයක් කරගෙන යන්න පවා පසුගිය කාලේ මේ සමහරු උත්සාහ කරන අයුරු අපි දැක්කා.

ප‍්‍රශ්නය – මට කෙටියෙන් කියන්න. විපක්‍ෂය ඉල්ලන සර්වපාක්‍ෂික සමුළුව කැඳවීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මොකක්ද?

පිළිතුර – දැනට කොවිඞ් මර්දන කාර්ය සාධක බළකාය ඉතාමත්ම සාර්ථකව මේ රටේ කොවිඞ් පාලනය සම්බන්ධයෙන් රටට ඉටුවිය යුතු කාර්ය භාරය නොපිරිහෙලා ඉටුකරනවා. ඒ අතර මහජන සුබසාධනය ආර්ථිකය හා රටේ ජනතාවට සිදුවිය හැකි

පාරිභෝගික අපහසුතා සම්බන්ධයෙන් දරිද්‍රතාවය පිටුදැකීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය කි‍්‍රයාත්මක වෙනවා. සෑම අමාත්‍යාංශයක්ම තම තමන්ට පැවරුණු වගකීම් හා යුතුකම් කොටස මැනවින් ඉටුකරනවා. මම හිතන්නේ සර්වපාක්‍ෂික සමුළුවකින් ඉටුවිය යුතු දෙයක් මේ වෙලාවේ නැහැ. නමුත් රජය මේ රටේ කොවිඞ් මර්දනය හා ජීවිත ආරක්‍ෂාව සම්බන්ධයෙන් කරගෙන යන වැඩපිළිවෙළ ගැන යම් දැනුවත් වීමක් වෙන්න විපක්‍ෂයට අවශ්‍ය නම් ඒ අදාළ පක්‍ෂ නායකයන්ට පුළුවන් ජනාධිපතිතුමාගෙන් හෝ අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න. ඒ හැර දැනට සර්ව පාක්‍ෂික සමුළුවකින් උපදෙස් ගන්න රජයට අවශ්‍යතාවක් නෑ.

ප‍්‍රශ්නය – මම දැක්කා සඳුදා රාත‍්‍රි ප‍්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකට වෛද්‍ය පාදෙනිය මහතා වැරදි තොරතුරු හා පිළුණු වූ සංඛ්‍යාලේඛන ලබාදෙනවා කියා සෞඛ්‍ය බලධාරීන්ට දොස් නගනවා. මේවා ඇත්තද?

පිළිතුර – 11 වන දින මමත් දැක්කා අන්තර්ජාල වල ඔය තොරතුරු හුවමාරු වෙනවා. වගකීමකින් කියන්න පුළුවන් ඔය නිර්නායක අපට අදාළ නෑ. ඒ වගේම තමයි සෞඛ්‍ය අංශය හෙළිදරව් කරන තොරතුරු හැර වෙන විශ්වාස කටයුතු තොරතුරු මූලාශ‍්‍රයකුත් අපට නෑ. ජනතාවත් වෙන වෙන මූලාශ‍්‍රවල තොරතුරු විශ්වාස කළ යුතු නෑ. කවුරුහරි කියනවා නම් සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන තොරතුරු වැරදියි කියලා, එහෙම නම් ඒ අය වගකීමකින් නිවැරදි තොරතුරු රටට හෙළිකරන්න ඕන. මං කියන්නේ සංඛ්‍යාලේඛනත් එක්ක. මට එකක් කියන්න ඕන. ඔය වෛiවරු, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්‍ෂක අංශ මේ වෙලාවේ තම දිවි පරදුවට තබා ඉටුකරන කාර්යභාරය ගැන රටම ණය ගැතියි. ඔවුන්ට අපි ස්තුති කරන්න ඕන. දැන් අපි පළාත් අතර සංචරණ සීමා පනවනවා. ඒ සඳහා උපදෙස් දුන්නේ ඔවුන්.

ප‍්‍රශ්නය – සෞඛ්‍ය අංශ කියන්නේ පළාත් සංචරණ සීමා පනවන්න කියල නොවෙයිනේ. රට ලොක්ඩවුන් කරන්න කියලා…?

පිළිතුර – නෑ.. ඔවුන් කළ ඉල්ලීම අනුව තමයි පළාත් සංචරණය සීමා පනවලා තියෙන්නේ. ඔවුන්ගේ ඉල්ලීම සමගම අපි අනිත් අංශවල නිර්දේශත් සසඳා බලලනේ තීන්දු තීරණ ගන්නේ. වැඩිපුර සංවේදී උණුසුම් තැන් අපි හුදෙකලා කරනවා. ඒක අකුරටම සිදුවෙනවා. ඒ වගේම ජනතාවට අවශ්‍ය ආහාරපාන හිඟයකින් තොරව පවත්වාගෙන යන්නත් තව පිරිසක් වෙහෙසෙනවා. රට එක රැුයකින් වහලා මේක විසඳනවා කියන එක රටේ සමස්ත ප‍්‍රශ්න එක්ක ගත්තාම සාර්ථක විසඳුමක් නොවෙයි කියල අපි එක පාරක් එහෙම කරල අත්දැකලා තියෙනවා. පාඩම් ඉගෙන ගෙන තියෙනවා.

ප‍්‍රශ්නය – මොනවද ඉගෙන ගත්ත පාඩම්…?

පිළිතුර – වෙන මොනවත් ඕන නෑ. විපක්‍ෂයේ හැසිරීම ගැන ලබපු අත්දැකීමම ඇතිනේ. එක පාරක් කිව්වා රට වහන්න කියලා. අපි රට වැහුවා. එදා ඉඳල විපක්‍ෂය කිව්වා රට අරින්න කියලා. ඊළඟට කිව්වා වසංගතය මර්දනය කරන්න කතා කරගන්න පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. අලූත් පාර්ලිමේන්තු එපා, පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කිව්වා. අලූත් පාර්ලිමේන්තුව පත්වුණාම කිව්වා කොවිඞ් තියෙනවා පාර්ලිමේන්තුව වහන්න කිව්වා. ලොව එන්නත් අත්හදාබලන අවස්ථාවේ කිව්වා අපට එන්නත් ගෙනල්ලා ගහන්න කියලා. අපි ගැහුවේ නැහැ. ලෝකය පිළිගත් සංවිධාන අවසර දෙන තුරු අපි බලා සිටියා. අපට බෑ ජීවිත එක්ක සෙල්ලම් කරන්න. ඔන්න ඔය විදියට නිතරම අපි කරන දෙයට අනිත් පැත්ත තමයි එයාලා කතා කළේ. ඒක නිසා ඔවුන්ගේ අරමුණ පිරිසිදුයි කියල මට හිතන්න බෑ.

Related posts

Leave a Comment