“ගැසට් නිවේදනක් වෙනස් කරනවා නම් ආනයන අපනයන පාලක ඉන්නේ අගමැතිටත් උඩින්ද ? “

ගැසට් නිවේදනත් වෙනස් කරනවා නම් ආනයන අපනයන පාලක ඉන්නේ අගමැතිටත් උඩින්ද?” අනුර කුමාර දිසානායක අග‍්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ලෙස නිකුත් කරනු ලබන ගැසට් නිවේදන ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ පාලකවරයා වෙනස් කරන්නේ නම් අග‍්‍රාමාත්‍යවරයාට උඩින් එම පාලකවරයා සිටින්නේදැයි ජාතික ජනබලවේගය මන්ත‍්‍රී අනුර දිසානායක මහතා 27/2 යටතේ විශේෂ ප‍්‍රශ්නයක් මතු කරමින් විමසා සිටියේය.

එහිදී මන්තී‍්‍රවරයා වැඩිදුරටත් මෙසේද කීය.

”ආනයන හා අපනයන පාලන පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද නියෝගයක් දෙපාර්තමේන්තු ප‍්‍රධානියකු විසින් අත්හිටුවීමක් නිසා පැනනැගී ඇති ගැටලූකාරී තත්ත්වය පිළිබඳ මේ සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.”

සභානායක දිනේෂ් ගුණවර්ධන-මේ 27/2 යටතේ ප‍්‍රශ්නය අප වෙත ලැබී නැහැ. විපක්ෂ නායක කාර්යාලයෙන් විමසුවා නමුත් ලැබී නැහැ. අද හවසත් තියෙනවා ඇපොයින්මන්ට එකක් මේකට. යනුවෙන් පැවසීය.

එයට පිළිතුරු වශයෙන් යලිත් අනුර දිසානායක මහතා කියාසිටියේ ” කමක් නෑ හෙට උත්තර දෙන්න ”

පසුගිය පෙබරවාරි 02 දා ආනයන හා අපනයන පාලන පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් ගැසට් පත‍්‍රයක් නිකුත් කරමින් පෙබරවාරි මාසේ 03 සිට ක‍්‍රියාත්මක වන පරිදි එතෙක් ආනයනය නතර කර තිබූ ටයිල් ඇතුළු අනෙකුත් සෙරමික් නිෂ්පාදන ආනයනයට ඉඩ ලබා දී තිබූ බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණා. ගැසට් එක ඔබතුමාගේ අත්සනින් නිකුත් කර තිබුණා.මෙතෙක් පැවති ටයිල් ඇතුළු අනෙකුත් සෙරමික් නිෂ්පාදන ආනයන තහනම හේතුවෙන් රට තුළ එම නිෂ්පාදන හිගයක් ඇතිවී තිබූ අතර මිල ගණන් ද ඉහළ ගොස් තිබුණා. මේ තත්ත්වය තුළ කොන්දේසිවලට යටත්ව වුවද ආනයනයට ඉඩ ලැබීම සම්බන්ධව නිවාස හා ගොඩනැගිලි ඉදි කරන්නන්ගේ බලාපොරොත්තුවක් තිබුණා. කෙසේ වුවද පසුදා ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ පාලකවරයා විසින් මහ බැංකු අධිපතිවරයාට පිටපතක් සහිතව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වාණිජ බැංකු ප‍්‍රධානීන් අමතා ලියන ලද ලිපියක් මගින් එම ගැසට් නියෝගය අවලංගු කර තිබෙනවා.

ගරු කථානායකතුමනි මෙතන ප‍්‍රශ්නය ගැසට් එක අවලංගු වී නැහැ. නමුත් ඒ ගැසට් එක ක‍්‍රියාත්මක වීම අත්හිටුවා තිබෙනවා. හැබැයි බැංකුවලට කියනවා එල් සී ඕපන් කරන්න එපා කියලා. කස්ටම් එකට කියනවා ටයිල් ඇතුල් කරන්න එපා කියලා. එතකොට ඔබතුමා මුදල් අමාත්‍යවරයා. ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ පාලකවරයා විසින් එය ක‍්‍රියාත්මක වීම අත්හිටුවා තිබෙනවා. සමහරවිට පිළිගන්න පුළුවන් අග‍්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ගැසට් නිකුත් කරලා එහි යම් දෝෂයක් තිබෙනවා නම් ඒක නැවත ගැසට් එකකින් වෙනස් කළා නම් ඒක පිළිගත හැකියි. ඒ නිසා හිතෙනවා අග‍්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයාද උඩින් ඉන්නේ, නැත්තම් ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ පාලකවරයාද කියලා.තහනම ඉවත් කිරීමෙන් පැය ගණනක් තුළ නැවත තහනම් කිරීම ව්‍යාපාරික ක්ෂේත‍්‍රය තුළ කැළඹිලිකාරී තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. මේ තීරණය පිටුපස යම් බලපෑමක් තිබෙනවාද? ඒ යළි තහනම් කිරීමට ගතවූ පැය 6 තුළ කවුරු හරි ටයිල් ගෙනාවාද? කවුරු හරි එල් සී ඔපන් කළාද? මොකද විශේෂ කණ්ඩායමක් ඉලක්ක කරගෙන ගැසට් නිකුත් කිරීමේ සෙල්ලම පසුගිය කාලය පුරාම තිබ්බ නිසා. ඒ නිසා ඔබතුමාගේන් මේ ප‍්‍රශ්න කිහිපයට පිළිතුරු අපේක්ෂා කරනවා. යැයි පැවසීය එම ප්‍රශ්න පහතින්…

1. 2021.02.02 දා ටයිල් අනෙකුත් සෙරමික් නිෂ්්පාදන ආනයනයට නැවත ඉඩ ලබා දෙන ගැසට් පත‍්‍රයක් නිකුත් කරනු ලැබුවේද?

2. 2021.02.03 දා එම නියෝගය අත්හිටුවන ලෙසට ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ පාලකවරයා විසින් රේගුවට දැනුම්දීමක් කර තිබේද?

3. මෙසේ ඇමැතිවරයාගේ නියෝගය අත්හිටුවන ලෙස දැනුම් දෙනු ලැබුවේ ඇයි?

4. ආනයන හා අපනයන පාලන පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද නියෝගයක් අවලංගු කිරීමට දෙපාර්තමේන්තු ප‍්‍රධානියකුට හැකියාවක් තිබේද?

5. නැවත ආනයනයට ඉඩ ලබා දීම සහ එය අවලංගු කිරීමේ නියෝගය ලබා දීම අතර එම නිෂ්පාදන ආනයන කටයුත්තකට අදාළ ණයවර ලිපි විවෘත වී ඇතිද? තිබේ නම් ඒ යටතේ ආනයන කටයුතු සිදු වන්නේද?

6. ආණ්ඩුවේ තීරණ තුළ මෙවැනි හදිසි පරස්පරතා මතු වන්නේ ඇයි?

Related posts

Leave a Comment