දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මකවේ – සීමා කඩකරනන් සොයා මෙහෙයුම්

ලබන සදුදා අළුයම 4.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි සමස්ත දිවයිනම ආවරණය කරමින් සංචරණ සීමා පැනවිම මේ වන විට ක්‍රියාත්මකයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ සංචරණ සිමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සඳහා විශේෂ මාර්ග බාධක සමඟ පොලිස් නිළධාරින් 20,000 ක් යොදවා ඇති බවයි. මෙම සංචරණ සීමා ඊයේ රාත්‍රි 11.00 සිට ක්‍රියාත්මක අතර, ලබන සදුදා අළුයම 4.00 න් , පසු එය ලබන 31 වනදා දක්වා දිනපතා ක්‍රියාත්මක වන්නේ රාත්‍රි 11.00 ත් පසුදා අළුයම 4.00 ත් ආදි වශයෙන්. මේ අනුව සංචරණ සීමා පනවා ඇති මෙම ලබන සදුදා අඵයම 4.00 දක්වා ඔසුසැල් හැරුණුවිට සියලු වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් හා කඩසාප්පු වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටී.

මෙම කාලසීමාව තුල වියළි ආහාර හෝ පිසූ ආහාර පාරිභෝගිකයන්ට නිවසට ගෙනවිත්දීමේ ඩිලිවරි සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන අතර පොලීසියේ අවසරය මත ඒ සඳහා අවස්ථාව ලබාදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මැණිං වෙළඳපොල, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල මෙන්ම, සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන නමුත්, ඒ සඳහා ඇතුළු වීමට අවසර ඇත්තේ තොග වෙළඳුන්ට පමණයි. මේ අතර කෘෂිකාර්මික කටයුතු සඳහා අවසර හිමිවන අතර ගුවන්තොටුපල වෙත ගමන් කිරීමට ද අවකාශ සලසා තිබෙනවා. සංචරණ සීමා පනවා තිබුණ ද සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව ඇගළුම් කර්මාන්තයේ ක්‍රියාකාරිත්වයට අවසර පවතින බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇගඵම් නිෂ්පාදනය, බෙදා හැරිම, ආනයනය සහ අපනයනය වැනි කාර්යයන් ආරක්ෂක බුබුළු ක්‍රමයට අනුගතව මෙම දින තුන ද ඇතුඵව සංචරණ සීමා පනවා තිබියදි සිදු කළ හැකි බවටයි.

Related posts

Leave a Comment