ඉන්දීය කොරෝනා ප්‍රභේදය නිසා බ්‍රිතාන්‍ය අමාරුවේ වැටේ

එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය පවසන්නේ ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය වූ කොවිඩ්-19 වෛරස ප්‍රභේදය සමග එක්සත් රාජධානියේදී හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව සතියකින් දෙගුණයකට වඩා වැඩිවී ඇති බවටයි. ඒ අනුව සතියක කාලයක් තුළ එම ආසාදිත රෝගීන් 520 සිට 1,313ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ව්‍යාප්තිය වැඩි වී ඇති ප්‍රදේශවල වේගවත් පරීක්ෂණ සහ ලුහුබැඳීම් ඇතුළු අතිරේක පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. පසුගිය සතියේ එක්සත් රාජධානිය විසින් ඉන්දියානු ප්‍රභේදය ‘සැලකිලිමත් වීමේ ප්‍රභේදයක්’ ලෙස නම් කරන ලදී. මෙම ප්‍රභේදය වයඹදිග සහ ලන්ඩන් පුරා ව්‍යාප්ත වී ඇති අතර ජංගම පරීක්ෂණ, ගෙයින් ගෙට ගොස් සිදුකරන පරීක්ෂණ සහ ජංගම එන්නත් බස් රථ ආදී කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය වැඩිදුරටත් වසා සිටී.

“කොවිඩ් -19 ආසාදන මට්ටම පහත හෙළීමට අප ලබාගෙන ඇති ප්‍රගතියට සහ ඒ ඔස්සේ ජනතාවට ලැබෙන නිදහසට මේ නව ප්‍රභේද බලපාන්නේ නැති බව සහතික කිරීම සඳහා අපි සාමූහිකව හා වගකීමෙන් කටයුතු කළ යුතුයි” යනුවෙන් එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනයේ කොවිඩ්-19 උපායමාර්ගික ප්‍රතිචාර අධ්‍යක්ෂ වෛද්‍ය සුසාන් හොප්කින්ස් පැවසීය. එංගලන්තය සඳුදා සිට සීමාවන් ඉවත් කිරීමේ සැලසුමේ දෙවැනි අදියරට පිවිසීමට සූදානමින් සිටි අතර ගෘහස්ථ භෝජන සංග්‍රහය නැවත විවෘත වන බව සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් නවතම තත්ත්වය යටතේ මෙහි යම් වෙනසක් සිදුවනු ඇති බවද සඳහන් වෙයි.

Related posts

Leave a Comment