රක්ෂිත අඟලක්වත් විනාශ කරලා නෑ

පරිසරය සහ මිනිසා හැමවිටම බැඳී සිටින්නේ ගසට පොත්ත මෙනි. පරිසරය රැකුණොත් අප ද රැකේ. එහෙත් දිනෙන් දින සංවර්ධනය කරා හඹා යන ලෝකය සිය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී පරිසරයට සිදු කරන හානිය නම් කිසි විටෙකත් නොසලකා හැරිය යුත්තක් නොවේ. එසේ නම් පරිසරය රැක ගනිමින් සංවර්ධන ඉලක්ක ළඟා කරගන්නේ කෙසේද යන්න පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.අමරසිංහ මහතා සමඟ කරන ලද සාකච්ඡාවකි.

– ගොවිතැන් නොකර සිටි ඉඩම් සුද්ධ කරගෙන ගොවීන් වගාවන් ආරම්භ කොට තිබෙනවා 
– 1981 අංකයට ඕනෑම වේලාවක ඇමතීමට මහජනතාවට පුළුවන් 
– 1980 වන තුරුම මේ රටේ පරිසර අමාත්‍යංශයක් හෝ පරිසර අධිකාරියක් තිබුණෙ නෑ 

  • මේ වන විට ශ්‍රී ලංකාව තුළ වන විනාශයක් සිදු වන බවට සමාජ කතිකාවක් ගොඩනැඟී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද?

බොහොම වගකීමෙන් කියන්න තියෙන්නෙ එය ජනාධිපතිතුමා සහ රජය අපහසුතාවට පත්කරන්න හදපු කතන්දරයක් බව. රක්ෂිතවල අඟලක්වත් විනාශ කරලා නෑ. එහෙත් වසර 10ක් 15ක් පමණ ගොවිතැන් නොකර තිබූ ඇතැම් ඉඩම් වගාවන් සඳහා එළිපෙහෙළි කොට තිබෙනවා. දේශීය සත්ත්ව ආහාර සඳහා බඩ ඉරිඟු වැනි වගාවන් ‍මේ වන විට පුළුල් වී තිබෙනවා වගේම එවැනි වගාවන් සඳහා වැඩිපුර ප්‍රමාණයක් ඉඩම් සුද්ධ කළා. වත්මන් ජනාධිපතිතුමා ලබාදුන් සහනත් සමඟ ජනතාව ගොවිතැනට වැඩි නැඹුරුවක් දැක්වුවා. ආනයනය කිරීම තහනම් වුණ කහ පසුගිය දිනවල හිඟයක් පැවතුණත් මේ වන විට අතිරික්තයක් ඇති වන තරමටම අපේ ගොවීන් කහ වගා කරනවා. කෑලැවැදී තමන් ගොවිතැන් නොකර සිටි ඉඩම් සුද්ධ කර ගෙන ගොවීන් වගාවන් ආරම්භ කොට තිබෙනවා. එහෙත් රජයේ රක්ෂිතයකට අත වත් තියන්න ඉඩ දීලා නෑ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහෙම දේකට අවසර දීලත් නෑ. මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉඩ දීලත් නෑ.

  • සැෂේ පැකට් තහනම මේ වන විට නිසිලෙසම ක්‍රියාත්මක වෙනවාද?

ඔව්. යුනිලිවර් ආයතනයට විරුද්ධව නම් අපට ක්‍රියාත්මක වෙන්න සිදු වුණා. බහුජාතික සමාගමක් විදිහට ඔවුන් වගකීමෙන් කටයුතු කළේ නෑ. පනතක් ක්‍රියාත්මක කළ පසුව ඕනෑම ආයතනයකට වගකීමක් තිබෙනවා ඒ පනතට අනුව කටයුතු කිරීමට සහ පනතේ පරිසමාප්ත අර්ථය සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කිරීමට. මි.ලී. 20ට අඩු සැෂේ පැකට් වෙළෙඳපොළට නිකුත් කරන්න එපා කියලා කිව්වම තේරුම් ගත යුත්තේ, මි.ලී. 21ක් දුන්නට කමක් නෑ කියලා නෙවෙයි. සැෂේ පැකට් වැනි දේ මේ පොළොවට හොඳ නෑ කියන කාරණාවයි. ඒ අර්ථය තේරුම් නොගෙන එම සමාගම කළේ අප මි.ලී. 20 සහ ඊට අඩු සැෂේ පැකට් තහනම් කළාම මි.ලී. 6 පැකට් 4ක් හදලා එකට අමුණා මි.ලී. 24ක් කොට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමයි. ඒ සමඟම අප වහාම ඒ ආයතනයට නි‍යෝග කළා එම වෙළෙඳ කටයුත්ත නතර කරන්නට. ඒ ආයතනය පමණයි පනතට එරෙහිව යමින් මිලි ලීටර් 20 සැෂේ පැකට් එක වෙනුවට 24ක් හදලා වෙළෙඳපොළට නිකුත් කළේ. අනිත් ආයතන බොහොම හොඳින් අපත් සමඟ සාකච්ඡා කර ගෙන මිලි ලීටර් 20ට අඩු සැෂේ පැකට් නිකුත් කිරීම නවතා දමා තිබෙනවා. ඊට අමතරව හුළං පුම්බන සෙල්ලම් බඩු ආනයනය මේ වන විට නවත්වා තිබෙනවා. කෘෂි රසායනික ද්‍රව්‍ය ප්ලාස්ටික් බෝතල් තහනම් කර ඒ සමාගම්වලට වසරක කාලයක් දුන්නා නිපදවා තිබෙන බෝතල් අලෙවි කර ගන්න. අපේ නියෝගය වුණේ ඒ සඳහා ප්ලාස්ටික් වෙනුවට වීදුරු බෝතල් ලබා ගැනීමට වුවත් මේ වන විට කෘෂි රසායනික ද්‍රව්‍යවලට තහනමක් පනවා තිබෙනවා. එබැවින් ජනාධිපතිතුමාගේ කෘෂි රසායනික තහනම සමඟ කෘෂි රසායනික සම්බන්ධයෙන් ප්ලාස්ටික් බෝතල් නිපදවීම සම්පූර්ණයෙන්ම නවතිනවා. පනවා ඇති නීති සම්බන්ධයෙන් අප නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. සොයා බලනවා. තවමත් වෙළෙඳසල්වල තිබෙන භාණ්ඩ අත්අඩංගුවට ගැනීම ආරම්භ කළේ නෑ. අප කියා සිටියේ මාර්තු 31 සිට මාස 3ක් ගත වන තුරු වෙළෙඳසල්වල තිබෙන ඒ භාණ්ඩ අත්අඩංගුවට ගන්නෙ නැති බව. දැනට වෙළෙඳසල්වල තිබෙන ඒවා විකුණා ගැනීමට ඉඩ දී තිබෙනවා. ජුනි 30න් පසු විකිණීම තහනම්.

  • ඊට පස්සෙත් විකුණුවොත් මොකද කරන්නේ?

එවිට වෙළෙඳුන්ට විරුද්ධවත් ක්‍රියාමාර්ග ගැනීමට අපට සිදු වෙනවා. එහෙම කරන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා.

  • ප්ලාස්ටික් හා පොලිතින් තහනමේ නවතම තත්ත්වය කුමක් ද?

පනතින් තහනම් කළ වර්ග හතරට අමතරව තවත් වර්ග 200ක් පමණ තහනම් කිරීමට සැලසුම් සකස් කර අවසන්. අවසන් වරට ජනාධිපතිතුමා නිකුත් කළ තිරසර පරිසර කළමනාකරණ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙනවා දැනට තහනම් කොට තිබෙන ප්ලාස්ටික්වලට අමතරව තවත් ප්ලාස්ටික්, පොලිතින් භාවිතය අවම කිරීමට කටයුතු කරන බව. දැන් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදමින් සිටිනවා. ඒ අනුව ඉදිරියේ දී පාරිභෝගිකයා එක් වරක් පාවිව්චි කොට ඉවත් කරන සියලුම පොලිතින්, ප්ලාස්ටික් තහනම් කිරීමට සිදු වෙනවා.

  • කඩොලාන පරිසර පද්ධතිය රැක ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන්නේ කෙබඳු වැඩපිළිවෙළක් ද?

දැනට කඩොලාන පද්ධතිය සුරැකීම පිළිබඳ සම්පූර්ණ වගකීම පවරා ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. අප සිදු කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කරගෙන යන එම වැඩපිළිවෙළට අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීම පමණයි. දැනටමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩොලාන වැඩි කිරීම සඳහා රජයේ අනුමැතිය ඇතිව ප්‍රතිපාදන වෙන් කොට කටයුතු කර ගෙන යනවා. එහි අධීක්ෂණ කටයුතුවලට පමණක් අප මැදිහත් වෙනවා. කඩොලාන පද්ධතියට හානියක් වෙනවා නම් එය වළක්වනවා මිස අලුතෙන් කඩොලාන සිටවන ව්‍යාපෘති මධ්‍යම පරිසර අධිකාරියෙන් ක්‍රියාත්මක කරන්නෙ නෑ. පානීය ජලය රැකගැනීම සඳහා වූ ‘සුරකිමු ගංගා’ වැඩසටහනේ වගකීම ජනපතිතුමා පවරා තිබෙන්නේ අපට. කටුපොල් ගලවා රබර් සිටුවීමේ ව්‍යාපෘතියත් අපට පවරා තිබෙනවා. කඩොලාන වගා කිරීම, නැවත වන වගාව සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. අපිත් අවශ්‍ය මොහොතක මැදිහත් වෙනවා.

  • කොළඹ නගරයේ ඔක්සිජන් සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබෙන බව සත්‍යයක් ද?

එය අමූලික බොරුවක්. විද්‍යානුකූලව ගත්තම ඔක්සිජන් 0.07 අඩු වීමට වසර මිලියන 08ක් ගත වෙනවා. කවුරුත් කියන විදිහට කොළඹ නගරයේ ඔක්සිජන් අඩු වෙලා නෑ. එහෙම කතාවක් පැතිරෙන්න හේතුව තමයි කොළඹ නගරාධිපති සහ පරිසර ඇමැතිතුමා සමඟ පැවැති සාකච්ඡාවක දී නාගරික කොමසාරිස්වරිය සමඟ පැමිණි නිලධාරියෙක් ඇමැතිතුමාගෙන් ඇහුවා කොළඹ ඔක්සිජන් අඩුයි වගේ නේ ද? කියලා. ඊට පහුවෙනිදා උදේ ජාතික පත්තරවල ප්‍රධාන මාතෘකාවක් හැටියට දැම්මා ‘කොළඹ නගරයේ ඔක්සිජන් අඩු වෙයි’ කියලා. ඒ ලොකු බොරුව තමයි මේ තරම් දුර දිග ගියේ.

  • රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගන්නා අතර පරිසරය රැක ගැනීමට ගන්නා ක්‍රියා මාර්ග මොනවා ද?

1980 වන තුරුම මේ රටේ පරිසර අමාත්‍යංශයක් හෝ පරිසර අධිකාරියක් තිබුණෙ නෑ. මේ රටට පරිසර අධිකාරියක් අවශ්‍ය බව 1980 දී මුල්වරට යෝජනා කළේ එවකට සිටි ජනපති රණසිංහ ප්‍රේමදාස මහතායි. ඒ සඳහා බලපෑ විශේෂ හේතුවක් තිබුණා. විවෘත ආර්ථිකයත් සමඟ මහා පරිමාණයෙන් කර්මාන්ත ආවා ලංකාවට. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අවුරුදු 30කට සැලසුම් කොට තිබුණු මහවැලි ව්‍යාපෘතිය කඩිනමින් සිදු කිරීමට එවකට සිටි මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණි දිසානායකට සිදු වුණා. ඉතා වේගයෙන් එවැනි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන විට පරිසර විනාශයත් ඉතා වේගයෙන් සිදු වෙනවා. ගස් වැවෙන්න ඉස්සෙල්ලා ගස් කපන්න සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රේමදාස ජනාධිපතිවරයාට සිද්ධ වුණා සංවර්ධන ව්‍යාපෘතිය වේගයෙන් කරන්න නම් එයින් පරිසරයට වන හානිය කළමනාකරණය කිරීමට ආයතනයක් ඇති කරන්න. ඒ අනුවයි 1980 දී මධ්‍යම පරිසර අධිකාරිය ජනාධිපතිවරයාගේ බලතල පාවිච්චි කරලා පිහිටුවූ‍යේ. තවමත් මධ්‍යම පරිසර අධිකාරියේ පත් කිරීම් බලධාරියා ජනාධිපති. රටේ සංවර්ධන කටයුතු සිදු කරන විට පරිසර හානි අවම වන අයුරින් සංවර්ධන කටයුතු මෙහෙයවීම සම්බන්ධයෙන් ඊට අදාළ ආයතනවලට මධ්‍යම පරිසර අධිකාරියෙන් උපදෙස් ලබා දිය යුතුයි. ඒ වගකීම අපට පැවරී තිබෙනවා. යම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මත්තෙන් අප ඉල්ලා සිටිනවා පරිසර ඇගයීම් වාර්තාවක්. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරිසර පනතට පටහැනි ව්‍යාපෘතියක් පටන් ගන්න බෑ. ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මත්තෙන් පරිසර ඇගයීම් වාර්තාවක් සිදු කොට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුයි. පරිසරයට හානියක් නොවන අන්දමින් එම ව්‍යාපෘති කළමනාකරණයට මඟ පෙන්වීම අපේ වගකීමක්. 

  • පරිසර ගැටලුවල දී මධ්‍යම පරිසර අධිකාරියට මහජන පැමිණිලි යොමු කළ යුත්තේ කෙසේ ද?

1981 අංකයට ඕනෑම වේලාවක ඇමතීමට මහජනතාවට පුළුවන්. පැමිණිල්ල පටිගත වෙනවා. අදාළ නිලධාරීන් පැමිණිලි භාර ගන්නවා. ලිඛිතව ලැබෙන පැමිණිලිවලට ද පිළිතුරු ලබා දෙනවා. මීට අමතරව දිස්ත්‍රික්ක 25හේම තිබෙනවා මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාල 25ක්. ඒ කාර්යාලවලටත් පැමිණිලි භාර දෙන්න පුළුවන්. එසේ නොමැති නම් මධ්‍යම පරිසර අධිකාරිය, අංක 104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල යන ලිපිනයට පැමිණිලි ලිඛිතව එවන්නත් පුළුවන්.

  • පැමිණිලි යොමු වූ විට ක්‍රියාත්මක වන ආකාරය ගැන පැහැදිලි කරන්න?

පැමිණිල්ල ලබා ගත් සැණින් අපේ නිලධාරින් පැමිණිල්ල අදාළ අංශයට යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය විට දී අත්අඩංගුවට ගන්නවා. කඩා පනින්න අවශ්‍ය විට දී කඩා පනිනවා. වෙනත් ආයතනවලට ලිඛිතව දැනුම් දිය යුතු අවස්ථාවල දී එය ද සිදු කරනවා. අපට ලැබෙන පැමිණිලි වර්ග තුනක් තිබෙනවා. අපට අයිති, අපේ පනතට අයිති එහෙත් ක්‍රියාත්මක කළ නොහැකි සහ අපේ පනතට අයිති නැති මේ සියලු පරිසරය සම්බන්ධ පැමිණිලි භාරගෙන අදාළ අංශවලට සහ ආයතනවලට යොමු කරනවා.

Related posts

Leave a Comment