ගැබිනි කාන්තාවන්ගේ කැමැත්ත අනුව කොවිඩ් එන්නත් දෙන්න පුලුවන්

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ඊයේ (14) පැවසුවේ කොවිඩ් – 19 වයිරසයෙන් ගැබිනි කාන්තාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ කැමැත්ත අනුව කොවිඩ් මර්දන එන්නත් දීම කළ හැකි බවයි. ගැබිණි කාන්තාව රැකියාවට නොගියත් නිවෙසේ සිටින වෙනත් අය එළියට ගොස් පැමිණෙන අතර, ඔවුන් මඟින් වයිරසය ගැබිනිය සිටින නිවෙසට ගෙන ඒමට හැකි බවත් එම නිසා සෑමවිටම සංචරණය සීමා කිරීම වඩාත් වැදගත් බවත් ඒ මහතා කීය. විශේෂයෙන්ම වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා කළ යුත්තේ කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ආරක්ෂා කිරීම බව ද ඔහු පැවසීය. 

ගර්භිණී කාන්තාවට එන්නත නොදී පසු කරන හැම දවසක්ම මාතෘ මරණ ඇති වීමේ අවදානමක් පවතින බවත් ගර්භිණී මවකට වයිරසය ආසාදනය වීමෙන් සංකූලතා බහුතරයක් ඇති වීමේ අවදානමක් පවතින බවත් ඒ මහතා කියා සිටියේය. ගැබිනි කාන්තාවකට එන්නත දීම ගැටලුවක් නොවන බවට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මත පළ කරන්නේ නම් ඔවුන්ට එන්නත නොදීම කරන්නේ මන්ද යන්න ගැටලුකාරි බවද හෙතෙම පැවසීය. වසරකට 319,000ක් දරු උපත් වන්නේ යැයිද, එම දරු උපත් ආරක්ෂාකාරීව නීරෝගිමත්ව බිහි කිරීම කළ යුතු යැයිද ඔහු කීය. වයිරස් ව්‍යාප්තියෙන් ගර්භිණී කාන්තාවන් ආරක්ෂා කර ගැනීම සඳහා රැකියා කරන ගැබිනි කතුන්ට නිවාඩු දීමට රජය ගත් තීරණය ඉතා වටිනා බවත් රජයට මේ අවස්ථාවේ කළ හැකි උපරිම දේ ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

Related posts

Leave a Comment