ටොරින්ටන් පිටියේ පුහුණුවට නුසුදුසු කෘත්‍රිම ධාවන පථයකට ටෙන්ඩර් කැඳවීමට යයි

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් සඳහා වෙන් කර ඇති ටොරින්ටන් ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය සඳහා ඊට කිසිසේත්ම උචිත නොවන පෙර සවි (Pre Fabricated) ඇතුරුම් ක්‍රමවේදයට අනුව සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව තීරණය කර ඇති බවටයි. මෙවැනි වර්ගයේ ධාවන පථ සුදුසු වන්නේ තරගාකාරීත්වයෙන් යුතු ක්‍රීඩා උලෙළ සඳහා පමණක් වන අතර, පුහුණුවීම් සඳහා වෙන් කරනු ලැබූ ලොව කිසිදු ක්‍රීඩාංගණයක මෙවැනි වර්ගයේ ධාවන පථ භාවිත නොකරන බව වාර්තා වේ.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වැනි වැඩි තරගකාරීත්වයකින් යුතු තරගාවලි සඳහා සකස් කරනු ලබන කෘත්‍රිම ධාවන පථ පෙර සවි ඇතුරුම් ක්‍රමවේදයට අනුව සිදු වූවත් ආසියානු ක්‍රීඩා උලෙළ, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ, දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි ප්‍රමාණයක් සහභාගි වන තරගාවලි සඳහා පවා මෙවැනි පෙර සවි ඇතුරුම් භාවිත නොකරන බව ආරංචි මාර්ග පවසයි. වසර 1991දී ශ්‍රී ලංකාවේ පැවැති දකුණු ආසියාතික ක්‍රීඩා උලෙළ ඉලක්ක කරමින් 1989දී පමණ සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය පෙර සවි ඇතුරුම් ක්‍රමවේදයට සිදු කළ ද, ඉන් පසු කිසිදු අවස්ථාවක එම ක්‍රමවේදය සුගතදාස ක්‍රීඩාංගණයට භාවිත කර නැත.

පළමු අවස්ථාවෙන් පසු සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථ අතුරනු ලැබූ සෙසු සෑම අවස්ථාවකම භාවිතයට ගෙන ඇත්තේ මූලික අදියරේ සිට අවසානය දක්වා ධාවන පථයේදීම වැඩ කටයුතු සිදු කරනු ලබන On-site ක්‍රමවේදයෙන් යුතු Full Pur ආකාරයේ කෘත්‍රිම ධාවන පථ ය. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේද අතුරා ඇත්තේ Full Pur ආකාරයේ කෘත්‍රිම ධාවන පථයකි. spray-coated සහ sandwich ආකාරයේ කෘත්‍රිම ධාවන පථ ද On-site ක්‍රමවේදයට අනුව සිදු කෙරෙන අතර, ආසියාවේ, යුරෝපයේ මෙන් අමෙරිකාවේ ද පුහුණුවීම් කරන ක්‍රීඩාංගණවල අතුරා ඇත්තේ ඉහත කී ක්‍රමවේදයට අනුව අතුරනු ලැබූ කෘත්‍රිම ධාවන පථ බව වාර්තා වේ. ලෝක ශූර කෙටි දුර ධාවක උසේන් බෝල්ට් පුහුණුවිම් සිදු කරනු ලබන්නේ ද Full Pur ආකාරයේ කෘත්‍රිම ධාවන පථවලය.

On-site ක්‍රමවේදයෙන් යුතු Full Pur ආකාරයේ කෘත්‍රිම ධාවන පථ, කල් පැවැත්මට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාවට වඩාත් සුදුසු බව අන්තර්ජාතික වශයෙන් පිළිගෙන ඇති බවත්, කොන්ක්‍රීට් මතුපිටක මීටර් 20ක පමණ දිගින් යුතුව කොටස් වශයෙන් අලවනු ලබන පෙර සවි ඇතුරුම් දීර්ඝ කාලයක් ඔරොත්තු නොදෙන, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආබාධවලට ලක් විය හැකි ධාවන පථ බවත් ධාවන පථ පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයන්ගේ අදහස වී තිබේ. වැඩි මුදලක් වැය වන එවැනි ධාවන පථ මෙරට දේශගුණයට කිසිසේත්ම නොගැළපෙන බවත්, මෙරට පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් එම කෘත්‍රිම ධාවන පථ කල් යෑමේදී දැඩි රළු බවක් පෙන්නුම් කිරිමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් සිදු කිරීම අසීරු වනු ඇති බවත් මලල ක්‍රීඩාවට සම්බන්ධ වැඩි දෙනකුගේ මතය වී තිබේ. කෘත්‍රිම ධාවන පථ ඇතිරීමේදී එහි ඝනත්වය මිලිමීටර් 15ක අවම මට්ටමක තිබිය යුතු බවට මීට පෙර මෙරට කෘත්‍රිම ධාවන පථ ඇතිරීමට ටෙන්ඩර් කැඳවීමේදී අත්‍යවශ්‍ය කොන්දේසියකි. එහෙත් පෙර සවි ඇතුරුම් ක්‍රමවේදයට අනුව කෘත්‍රිම ධාවන පථයේ උපරිම ඝනත්වය මිලිමීටර් 13.5ක් පමණක් බව ද සඳහන් වේ.

මෙවැනි ආකාරයේ කෘත්‍රිම ධාවන පථ වසර දෙකකට වඩා කාලයක් එකම මට්ටමෙන් නොපවතින බැවින් ඔලිම්පික් වැනි බොහෝ ක්‍රීඩා උලෙළෙන් පසු එම කෘත්‍රිම ධාවන පථ වැඩි කාලයක් යෑමට පෙර ගලවා ඉවත් කරන බවත් වාර්තා වේ. පෙර සවි කෘත්‍රිම ධාවන පථ ඇතුරුම් සඳහා ලොව ප්‍රමුඛතම සමාගම වන්නේ ඉතාලිය කේන්ද්‍ර කරගත් මොන්ඩෝ සමාගමය. එළැඹෙන ටෝකියෝ ඔලිම්පික් උලෙළ සඳහා ධාවන පථ සැකසීමේ එකම සැපයුම්කරු වන්නේ ද එම සමාගම වන අතර, ඔවුන් ඔලිම්පික් උලෙළට දායකත්වය ලබා දෙන්නේ අඛණ්ඩව අටවැනි වරටය. ටොරින්ටන් ක්‍රීඩාංගණයට අමතරව කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ ද මෙවැනි ආකාරයේ පෙර සවි ඇතුරුම් කෘත්‍රිම ධාවන පථ එලීමට ටෙන්ඩර් කැඳවීමට නියමිතව ඇති බවින් ඒ සඳහා කටයුතු කරමින් සිටින ක්‍රීඩා අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවට මලල ක්‍රීඩාව පිළිබඳ දැනුමක් ඇති සාමාජිකයන් සිටීදැයි යන්න ගැටලුවකි. එම ක්‍රීඩාංගණ ද්විත්වය සඳහා පෙර සවි ඇතුරුම් ආකාරයේ කෘත්‍රිම ධාවන පථ එලීම නිකරුණේ මුදල් නාස්ති කිරීමක් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආබාධවලට ලක්වීමේ අවදානමක් සහිත ක්‍රියාවක් වනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මෙවැනි තීරණයක් ගැනීමට පෙර ඒ පිළිබඳ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අදහස් විමසීමක් සිදු කළ යුතුව තිබුණත් එවැන්නක් සිදුවී නැති බව මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසුමකදී අනාවරණය විය. එමෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා කවුන්සිලය ද මේ පිළිබඳ දැනුම්වත්ව නොසිටි බව ආරංචි මාර්ග සඳහන් කළේය. අන්තර්ජාතික පදක්කම් දිනා ගැනීම උදෙසා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ඕනෑම පහසුකමක් සැපයීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දැඩි උනන්දුවකින් සහ කැපවීමකින් යුතුව කටයුතු කරමින් සිටින මෙවැනි පසුබිමකදී ක්‍රීඩා අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව කිසිදු අධ්‍යයනයකින් තොරව පෙර සවි ඇතුරුම් කෘත්‍රිම ධාවන පථ එළීමට ටෙන්ඩර් කැඳවීමට තීරණය කිරීම ක්‍රීඩා අමාත්‍යවරයා ද අපහසුතාවට පත් කිරීමක් බව ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර සිටී.

Related posts

Leave a Comment