පාස්කු කොමිසන් වාර්තාව වහාම මහජන ලියවිල්ලක් කළ යුතුයි

පාස්කු කොමිෂන් වාර්තාව වහාම මහජන ලියවිල්ලක් කළ යුතුයිපාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව තුළින් එම ප්‍රහාරයට සම්බන්ධ ඒ පිටුපස සිටින අදිසි හස්තයන් කවුරුන්ද වග ජනතාව ඉදිරියේ හෙළි කළ යුතු බවත් එසේ කිරීමට ආණ්ඩුව පැකිලෙන බව පෙනී යන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.ජනතා විමුක්ති පෙරමුණ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ප්‍රධාන කාර්යාලයේ ඊයේ (11වැනිදා) මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.”පසුගිය දශකයේ අපේ රටේ සිදුවූ විශාලතම ඛේදවාචකය වන පාස්කු ප්‍රහාරයෙන් 268ක් මිය ගිහින් 500කට අධික පිරිසක් තුවාල ලැබුවා. ඒ වගේම ජනතාව අතර විශාල කැළඹිලිකාරී තත්ත්වයක් ඇති වුණා. ගැටුම්කාරී තත්ත්වයන්ට පවා මුල්වුණා. හැබැයි ඒක ඛේදවාචකයක් පමණක් නොවෙයි අපේ රටේ දේශපාලන දිශානතිය වෙනස්වීම සඳහාත් පාස්කු ප්‍රහාරය විශාල වශයෙන් ඉවහල් වුණා.

ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී වෙනස්කම් සිදුවීමට මේ ප්‍රහාරය විශාල වශයෙන් බලපෑවා. මේ ප්‍රහාරයේ අලගිය මුලගිය තැන් පිළිබඳ සත්‍ය තොරතුරු දැනගැනීමේ සාධාරණ අයිතියක් මේ රටේ පුරවැසියන්ට තියෙනවා.මේ ප්‍රහාරය ගැන සොයා බලන්න හිටපු ජනාධිපතිවරයා විසින් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කරනු ලැබුවා. එහි අවසාන වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. මේ කොමිෂන් සභාවට පැති දෙකකින් කාර්යභාරයක් පවරා දී තිබුණා. මෙම ප්‍රහාරය වළක්වා ගන්න නොහැකි වුණේ ආණ්ඩුවේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසාද කියන එක විමසා බැලීම මෙම කොමිසමේ එක් කාර්යභාරයක් වුණා. දෙවැන්න ඒ සඳහා හවුල්වූවන් සිටීද? තව සංවිධානවල දායකත්වයක් තිබේද? ඒ සඳහා දේශපාලන මැදිහත්වීම් තිබේද? ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුද? සහරාන්ට උඩින් තව පිරිසක් සිටියාද? ඔවුන් තවමත් මේ සැලසුම්වල ඉන්නවාද? වැනි ප්‍රහාරකයන්ගේ පාර්ශ්වයන් පිළිබඳ පරීක්ෂණ සිදුකොට ජනාධිපතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වුණා. මේ ප්‍රධාන කරුණු දෙකට අමතරව නැවත මෙවැනි ප්‍රහාරයන් වළක්වා ගැනීම, ඉන්පසු සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වයන් සිදුවූයේ කෙසේද, වැනි කරුණු සොයා බැලීමට තිබුණා.හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ ප්‍රහාරය වළක්වා නොගැනීමට චෝදනා ලැබූ අය හැටියට වාර්තා කර තිබෙනවා. නමුත් වාර්තාවේ වැදගත්ම කොටස තමයි මේ ප්‍රහාරකයන් කවුද, ඔවුන්ගේ වුවමනාවන් මොනවාද, කවුරු විසින් ඔවුන් හසුරුවනු ලැබුවාද, මරාගෙන මැරුණ බෝම්බකරුවන්ගෙන්ම මේ ප්‍රහාරකයන් අවසන් වෙනවාද, ඔවුන්ගේ සැලසුම් අවසන් වෙනවාද, කියන කරුණු ඉතාමත්ම වැදගත්. ජාතික ආරක්ෂාව පැත්තෙන් බැලුවත් අනාගතය පැත්තෙන් බැලුවත් ජාතික සමගිය දිසාවෙන් බැලුවත් වැදගත් වෙන්නේ මෙන්න මේ තත්ත්වයන් පිළිබඳව හෙළිදරව් කිරීම.අවුරුදු එක හමාරකට අධික කාලයක් සාක්ෂිකරුවන් විශාල සංඛ්‍යාවක් කැඳවමින් පිටු ලක්ෂයකට ආසන්න වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදුන් බව වාර්තා වෙනවා. පුද්ගලයන් දෙදෙනෙක් අතර නඩු වාර්තාවක් නෙවෙයි මේක. මේ රටේ සියලු පුරවැසියන්ට එහි අඩංගු කරුණු දැනගන්න යුක්තිසහගත අයිතියක් තියෙනවා.පසුගිය 08 වැනිදා පක්ෂ නායක රැස්වීමේදී මෙම වාර්තාව සහ දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටියා. පාස්කු කොමිෂන් වාර්තාව මුද්‍රණය කිරීමට දීර්ඝ කාලයක් ගතවෙනවා නම් පාර්ලිමේන්තුවේ පුස්තකාලයට පිටපත් දෙකක් ලබාදී අනෙක් සියලු දෙනාට එහි විද්‍යුත් පිටපතක් ලබාදෙන්න කියන ඉල්ලීමක් කළා. මේකෙ විශාල පිටු ප්‍රමාණයක් තිබෙන වාර්තාවක් නිසා සභාගත කරන්න සැලකිය යුතු කාලයක් ගතවෙන බව කියමින් ආණ්ඩුව හැංගෙන්න හදන බව අපි දන්නවා. ඒ නිසා තමයි අපි විකල්ප ඉල්ලීමක් කළේ. නමුත් එය ලබාදීමට ආණ්ඩුව සූදානමක් නැති බව හරි පැහැදිලියි. ඉදිරි පාර්ලිමේන්තු වාරයේදීත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවිද කියන සැකය තියෙනවා. කැබිනට් මණ්ඩලයත් සූම් හරහා රැස්වෙනවා නම් මේ වාර්තාවේ විද්‍යුත් පිටපතක් නිල වෙබ් අඩවියේ පළ කරන්න හැකියාව තිබෙනවා.පොදු ජනතාවට දැනගැනීමට තිබෙන අයිතිය හේතුකොටගෙන ආණ්ඩුව වහාම මෙය ප්‍රසිද්ධියට පත් කළ යුතුයි. මේක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ හෝ ඔහුගේ අල්ලපු වැටේ කෙනෙකුගේ ඉඩම් නඩුවක වාර්තාවක් නොවෙයි. මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳ වාර්තාවක් මේක. ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් තවදුරටත් හොරගල් අහුලන්නේ නැතිව බොරු හේතු නොකියා වහාම මහජන ලියවිල්ලක් බවට පත් කළ යුතුයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව වහාම සමාජයට ඉදිරිපත් කළ යුතුයි. මෙය හංගාගෙන ඉඳීමේ අයිතියක් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට නැහැ.හංගාගෙන සිටීමේ අයිතියක් ජනාධිපතිට හෝ ආණ්ඩුවට නැහැ”

Related posts

Leave a Comment