එකවරම දරුවන් නව දෙනකු උපත ලබයි – ගිනස් වාර්තාවක්

කියමනට කියන්නේ ගහේ ගෙඩි ගහට බර නැති බවකි. එපරිද්දෙන්ම මවකට දරුවන් කෙතෙක් සිටිය ද වැඩි නැත. මෙයට කලකට ඉහත පවුල්වල දරුවන් දහ දොළොස්දෙනා බැගින් දක්නට ලැබුණේ එසේ සිතූ මව්පියවරුන් නිසයි. ඔවුන් වැදූ – හැදූ දරුවන්ගෙන් ලෝකය ලස්සන විණ. එහෙත් මිනිසා කාර්යබහුල වන්නට පටන් ගනිත්ම පවුලක සිටින දරුවන් ගණනත් අඩු වී ගියේය. වත්මන් පවුල්වල වැඩිපුරම දැකිය හැකි වන්නේ එක් දරුවකු හෝ දෙදෙනකු පමණි. පවුලක දරුවන් තුන්දෙනකු අද දක්නට ලැබෙන්නේ ද තරමක් අඩුවෙනි. මෙය, එවන් පරිසරයක එකවරම දරුවන් නව දෙනකු වැදූ පුවතකි.

ඇය මාලි රාජ්‍යයේ විසිපස් හැවිරිදි හලිමා සිසේය. ඈ එක්දරු මවක ද වූවාය. දෙවන වරටත් ගැබිනියක වූ හලීමාව ස්කෑන් පරික්ෂාවකට යොමු කළ වෛද්‍යවරුන්ට පෙනී ගියේ ඈ දරුවන් හත්දෙනකු ලබන්නට සිටින වගකි. ඉතා දරිද්‍ර රටක් වන මාලි රාජ්‍යයේ සෞඛ්‍ය සේවාවට, හලීමාට අවශ්‍ය ප්‍රතිකාර සහ රැකවරණය සපයා දීමට ශක්තියක් තිබුණේ නැත. එනිසා ඇය අසල්වැසි මොරොක්කෝ රාජ්‍යය වෙත වහාම යවන ලදී. මොරොක්කෝවට රැගෙන යන විට ඇය පසු වූයේ සිය ගර්භණී සමයේ විසිපස් වන සතියේය.

විසි පස් වන සතියේ සිට තිස් වන සතිය දක්වා හලීමාව රැක බලා ගත්තේ මොරොක්කෝ සෞඛ්‍ය සේවාවයි. තිස් වන සතියේ දී සිසේරියන් සැත්කමක් මඟින් දරුවන්ට උපත දිය යුතු බව මොරොක්කෝ වෛද්‍යවරු තීරණය කළහ. ඒ අනුව මොරොක්කෝවේ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් හලීමාව, පසුගිය දා සිසේරියන් සැත්කමට භාජනය කළහ. ඇයව සිසේරියන් සැත්කමට භාජනය කිරීමේ මූලික වගකීම දරා සිටියේ මොරොක්කෝවේ කැසබ්ලංකාහි අයින් බොර්ජා සායනයේ අධ්‍යක්ෂ මහාචාර්ය යූසෙෆ් අලවුයිය. සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරු දස දෙනෙක් සහ අනුපූරක වෛද්‍ය සේවයේ නිලධාරීහු විසි පස්දෙනෙක් සහභාගි වූහ.

හලීමා සිසේට දරුවන් හත්දෙනකු ලැබෙන්නට සිටින බවට පූර්වයෙන් උපකල්පනය කර තිබුණ ද සියල්ලන්ම මවිතයට පත් කරමින් ඈ දරුවන් නව දෙනෙකුට උපත දුන්නාය. ඇගේ දරුවන් නවදෙනාට ගැහැනු ළමයි පස්දෙනෙක් සහ පිරිමි ළමයි සිව්දෙනෙක් අයත් වෙති. දරුවන් නවදෙනාට උපත දීමෙන් පසු හලීමාගේ තත්ත්වය බරපතළ අතට හැරිණ. අධික ලෙස රුධිරය වහනය වීමේ භයානක තත්ත්වයට ඈ මුහුණ දෙමින් සිටියාය. ඇයට වහාම රුධිරය සපයා දෙමින් වෛද්‍යවරු තත්ත්වය පාලනය කර ගන්නට සමත් වූහ. එනිසා ඉතා ඉක්මනින් ඇය භයානක සෞඛ්‍ය තත්ත්වයෙන් මිදුනාය.

“.. මව සහ දරුවන් නවදෙනා දැන් භයානක තත්ත්වයේ නොවෙයි පසුවන්නේ. අපි හැම වෙලාවකම ඔවුන්ට ඉතා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. …” යනුවෙන් මහාචාර්ය යූසෙෆ් අලවුයි පවසයි.

උපත ලබන විට දරුවන්ගේ බර ප්‍රමාණ ග්‍රෑම් 500ත් කිලෝග්‍රෑම් 1ත් අතර පරාසයක තිබෙන බව වෛද්‍යවරු පවසති. දරුවන් මාස දෙකක් හෝ තුනක් ඉන්කිව්බේටරයේ තබන්නට සිදු වනු ඇති බව ද සඳහන් වේ. දරුවන් භාරව සිටින වෛද්‍ය මහාචාර්ය අස්මා ඛලීල් පවසන්නේ දරුවන් නීරෝගි සුවයෙන් පසු වන බව ඔවුන්ගේ මුහුණුවලින් පෙනෙන බවයි.

හලීමා සිසේ දරුවන් නවදෙනකු බිහි කිරීම පිළිබඳ පුවත ලෝක අවධානය දිනාගෙන තිබුණත් හලීමාගේ සැමියා අඩ්ජුඩන්ට් කාදර් ආර්බි තවමත් සිටින්නේ මාලි රාජ්‍යයේමය. ඔහුට දරුවන්ගේවත් බිරියගේවත් මුහුණු දකින්නට ඉඩක් ලැබී නැත. ඔහු ඔවුන්ගේ වැඩිමහල් දියණිය රැක බලා ගනිමින් සිටී. නව සාමාජිකයන් නව දෙනා සහ වැඩිමහල් දියණිය සමඟ පවුල ඉදිරියට රැගෙන යෑම කරදරයක් ලෙස නොසිතන බව හෙතෙම පවසයි.

“… අපට මේ දරුවන් දුන්නේ දෙවියන්. සියල්ල තීරණය කරන්නේ දෙවියන්. දෙවියන් යම් කිසිවක් කරන්නේ හේතුවක් ඇතිව …” යැයි අඩ්ජුඩන්ට් කාදර් ආර්බි, බී.බී.සී. ප්‍රවෘත්ති සේවයට පවසා තිබිණ.

මවක දරුවන් නව දෙනකු එක වර බිහි කළ අවස්ථාවන් දෙකක් ගැන මෙයට පෙර වාර්තා විය. ඉන් එකක් වාර්තා වූයේ 1971 වසරේ දී ඔස්ට්‍රේලියාවෙනි. දෙවැන්න වාර්තා වුණේ 1999 වසරේ දී මැලේසියාවෙනි. එම අවස්ථා දෙකෙහිම බිහි වූ දරුවන් දින කිහිපයකට වඩා ජීවත් වූයේ නැත. මවක එක වර බිහි කළ දරුවන් නවදෙනකු ජීවත් වන අවස්ථාවක් ගැන මේ නිසා වාර්තා නොවෙයි. එසේ වූවත් මවක එක වර බිහිකළ දරුවෝ අටදෙනෙක් නම් සාර්ථකව දිවි ගෙවති. එම දරුවන් අට දෙනා 2009 වසරේ දී බිහිකළේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නාඩියා සුලෙයිමාන් නමැති මවයි. එකී අට දරුවෝ මේ වන විට දොළොස් හැවිරිදි වයස්වල පසුවෙති. නාඩියා සුලෙයිමාන්ගේ දරුවන් ඇගේ කුස පිළිසිඳගෙන තිබුණේ අයි.වී.එෆ්. තාක්ෂණය හේතුවෙන් වුවත් හලීමා පිළිසිඳ ගෙන තිබුණේ ස්වාභාවිකවමය. හලීමාගේ නව දරු උපත ගිනස් වාර්තාවක් බව ද ජාත්‍යන්තර පුවත් සේවාවන් පෙන්වා දෙයි.

හලීමාගේ නව දරු උපත වාර්තාවක් ලෙස දක්වන්නටත්, එය විවිධ නම්වලින් හඳුන්වන්නටත් අන්තර්ජාතික මාධ්‍ය සේවාවන් පියවර ගෙන ඇත. එසේ වුවත් මාලි රාජ්‍යයේ සෞඛ්‍ය ඇමැතිනී ෆැන්ටා සිබී මේ අසිරිමත් අවස්ථාව හඳුන්වන්නේ “සන්තෝෂයේ ප්‍රතිඵලය” (happy outcome) යනුවෙනි. ඇමැතිවරිය සඳහන් කරන අන්දමට මේ නවදරු උපත සැබවින්ම සන්තෝෂයේ ප්‍රතිඵලයයි.

Related posts

Leave a Comment