නව කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුවෙන් ක්‍රීඩකයන්ගේ වැටුප් කප්පාදුවක්‌ – ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයෝ ගිවිසුමට අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂේප කරති!

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ 2021/2022 වසර සඳහා වන කී‍්‍රඩක කොන්ත‍්‍රාත්තු ලබා දීමේ කී‍්‍රඩක ලැයිස්තුව පසුගියදා ප‍්‍රකාශයට පත් කළේය. ඒ අනුව ලැයිස්තුගත කෙරුණු නව කොන්ත‍්‍රාත් ගිවිසුමේදී ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් වන හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් ඇතුළු පිරිසකගේ සියයට 50ක පමණ වැටුප් කප්පාදුවක් සිදුවී ඇති බවත් මේ හේතුවෙන් අදාළ කොන්ත‍්‍රාත්තුවට අත්සන් තැබීම ඔවුන් විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වේ.
 
 කී‍්‍රඩකයන්ගේ දක්ෂතා පදනම් කර ගනිමින් නව ජාතික කි‍්‍රකට් කොන්ත‍්‍රාත් ගිවිසුමක් සකස් කිරීමට අරවින්ද ද සිල්වා ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තාක්ෂණික කමිටුව පසුගියදා පියවර ගත්තේය. එ් අනුව එහිදී කී‍්‍රඩකයන් A-1, A-2, A-3, B-1, B-2, B-3, C-1, C-2, C-3, D-1, D-2, D-4 ලෙස කාණ්ඩ යටතට නම්කර ඇති අතර ඒ අනුව සකස්කරන ලද නව කොන්ත‍්‍රාත් ගිවිසුමට අනුව වැඩිම වැටුපක් හිමිවන කී‍්‍රඩකයන් ලෙස නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා නම්කර තිබේ. එහිදී ඔවුන් දෙදෙනා A-1’ කාණ්ඩයට ඇතුළත්ව ඇති අතර එම කාණ්ඩය වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 100000ක වටිනාකමකින් යුක්ත වේ. එය ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් ලක්ෂ 196ක් පමණ වේ.
 
 කෙසේ වෙතත් පසුගිය වසරවලදී කොන්ත‍්‍රාත්ගත ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි දිමුත්, මැතිව්ස්, චන්දිමාල් සහ සුරංග ලක්මාල්ට නව ගිවිසුම මගින් සියයට 50කට ආසන්න වැටුප් කප්පාදුවක් සිදුවී තිබේ. එ් අනුව මෙම නව ගිවිසුමට ඇතුළත් කරුණු සම්බන්ධයෙන් කි‍්‍රකට් ආයතනය සමගින් එකඟතාවකට පැමිණීමට නොහැකිවීම මත ඊයේ වනතුරුත් අදාළ කොන්ත‍්‍රාත් ගිවිසුම අත්සන් කිරීම මෙම ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් ප‍්‍රතික්ෂේප කර තිබිණි.

watuplistනව කොන්ත‍්‍රාත් ගිවිසුම අනුව ඇන්ජලෝ මැතිව්ස් එ්-2 කාණ්ඩයට ඇතුළත්ව ඇති අතර එම කාණ්ඩය වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 80000ක වටිනාකමකින් යුක්ත වේ. පසුගිය කොන්ත‍්‍රාත් ගිවිසුමේදී මැතිව්ස් හට ඇමෙරිකානු ඩොලර් 130000ක වාර්ෂික මුදලක් හිමි වූ අතර නව ගිවිසුමට අනුව ඇමෙරිකානු ඩොලර් 50000ක් කපාහැර තිබේ. දිමුත් කරුණාරත්න නව කොන්ත‍්‍රාත් ගිවිසුමට අනුව එ්-3 කාණ්ඩයට ඇතුළත්ව ඇති අතර එය වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 70000ක වැටුප් කාණ්ඩයට ඇතුළත් වේ.
 
 පසුගිය කොන්ත‍්‍රාත් ගිවිසුමෙන් දිමුත්හට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 100000ක වැටුපක් හිමිවී තිබිණි. සුරංග ලක්මාල් නව කොන්ත‍්‍රාත් ගිවිසුම යටතේ බී – 1 කාණ්ඩයට ඇතුළත්ව ඇති අතර එය වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 65000ක වැටුපකින් යුක්ත වේ. එහිදී ලක්මාල්ගේ පසුගිය කොන්ත‍්‍රාත්තුවට වඩා ඇමෙරිකානු ඩොලර් 45000ක් පමණ නව කොන්ත‍්‍රාත් ගිවිසුමෙන් කපාහැර තිබේ.
 
 මේ අතර දිනේෂ් චන්දිමාල් සී-2 කාණ්ඩයට ඇතුළත්ව ඇති අතර එය වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 45000ක වැටුපකින් සමන්විත වේ. 2020 වසරේ සිට මේ දක්වා තරග 2ක් පමණක් කී‍්‍රඩා කර ඇති කසුන් රාජිත සී-1 කාණ්ඩයෙන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 50000ක වැටුප් කාණ්ඩයට ඇතුළත් වෙද්දී මෑතකදී පිත්තෙන් දස්කම් දැක්වූ ධනුෂ්ක ගුණතිලක ඞී-2 කාණ්ඩයට ඇතුළත්ව තිබේ. එය වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 30000 වැටුප් කාණ්ඩයට ඇතුළත් වන අතර මෙය කැපී පෙණුන සිදුවීමක් බවට මේ වන විට පත්ව තිබේ.

Related posts

Leave a Comment