සුදුසුකම් තිබියදීත් ගම්පහ පාසලකට නොගත්තාට – සිසුවියට ලක්‍ෂ 5 ක් වන්දි ගෙවීමට රජයට නියෝග

නිසි සුදුසුකම් සපුරා තිබියදීත් රජයේ පාලසලක පළමු ශ්‍රේණියට ඇතුල්කර නොගැනීමෙන් වසර 2 කට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි කළ සිසුවියකට වන්දියක් ලෙස රුපියල් ලක්‍ෂ 5 ක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේය.

එම පාසලේ විදුහල්පතිනිය, සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය, අභියාචනා මණ්ඩලය සහ ගම්පහ ප‍්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා මෙම සිසුවියගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය වහාම සිසුවියව එම පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරගන්නා ලෙසට ද ගම්පහ ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන පෙළේ බාලිකා විදුහලක විදුහල්පතිනියට නියෝග කළේය.

අගතියට පත් සිසුවිය වෙනුවෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ මුර්දු ප‍්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළහ .

නීතිඥ සුනිල් වනිගපුර සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම් කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ රජීව ගුණතිලක මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

Related posts

Leave a Comment