දේශීය පොල් තෙල් කර්මාන්තය යළි ශක්තිමත් වෙයි

ආනයනික පොල් තෙල් තොග කිහිපයක පිළිකා කාරක අඩංගුවීම හා පාම් තෙල් ආනයනය තහනම් කිරීමට ගත් තීරණය හේතුවෙන් දේශීය පොල් තෙල් කර්මාන්තය යළි ශක්තිමත් වී ඇති බව පාරම්පරික පොල් තෙල් කර්මාන්තකරුවන් පෙන්වා දෙයි.

පිළිකා කාරක සහිත පොල් තෙල් පිළිබඳව අනාවරණයවීමත් සමග පාම් තෙල් ආනයනය තහනම් කිරීමට රජය පසුගියදා තීරණය කර තිබුණි.

ඒ සමග, වසර ගණනාවක් වසා දමා තිබූ සිය පොල් තෙල් මෝල් සහ කැඩී බිඳී ගොස් තිබූ යන්ත්‍ර පිළිසකර කරමින් දේශීය පොල් තෙල් නිෂ්පාදනය යළි ඇරඹීමට එම කර්මාන්තකරුවන් කටයුතු කර තිබුණි.

මාතලේ, කුරුණෑගල සහ පුත්තලම ප්‍රදේශවල එලෙස පොල් තෙල් නිෂ්පාදනය ආරම්භ කර තිබේ.

කර්මාන්තකරුවන් පවසන්නේ මේ වනවිට ප්‍රදේශවාසීන්ට රැකියා අවස්ථා පවා ලබාදීමට තමන්ට හැකියාව ලැබී ඇති බවය.

දේශීය පාරම්පරික පොල් තෙල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා සඳහන් කළේ ශ්‍රී ලාංකික පොල් තෙල් සන්නාමය ආරක්ෂා කිරීම සඳහා පොල් තෙල්වලට වෙනත් කිසිදු ආදේශක තෙල්වර්ගයක් මිශ්‍ර කිරීමට අවස්ථාව නොලැබෙන කටයුතු කිරීම ගැන රජයට ස්තූතිය පිරිනමන බවය.

Related posts

Leave a Comment