අලුතෙන් සංචරණ සීමා පැනවෙන්නේ මෙහෙමයි – රජයේ නිවේදනය

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් එළඹෙන 21 දා රාත්‍රී 11.00 සිට 25 දා අලුයම 4.00 තෙක් ක්‍රියාත්මක වන පරිදි රට පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කරයි.  ඊට අමතරව එළඹෙන 25 දා රාත්‍රී 11.00 සිට මේ මස 28 දා අලුයම 4.00 දක්වා නැවතත් මුළු රටටම අඛණ්ඩව සංචාරණ සීමා පනවන බවයි. එම කාලය තුළ සියලුම පුද්ගලයින් නිවෙස්වල හෝ ඔවුන් සිටින ස්ථානයේ රැඳී සිටින ලෙස දැනුම් දෙන යුද හමුදාපතිවරයා කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම වෙනුවෙන් ගෙනයන වැඩපිළීවෙළට සහාය ලබාදෙන ලෙස ඉල්ලීමක් කරයි.

කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අන්තර් පළාත් සංචරණ සීමා පැනවීමට රජය තීරණය කළ අතර එම කාලයේ දී එක් පළාතකින් තවත් පළාතකට ඇතුළුවීමට අවසර නොලැබෙන නමුත් අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට හැකියාව ලැබේ. ඒ අනුව සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ කටයුතු, ජලය, විදුලිය, වරාය, ගුවන් තොටුපළ, සන්නිවේදන, මාධ්‍ය, අධිකරණ හා නීති, වාණිජ හා මූල්‍ය සේවාවන් ඒ ආකාරයටම පළාත් මායිම් හරහා පරීක්ෂා කිරීමකින් පසුව පැමිණීමේ හැකියාව හිමි වේ. මෙම සංචරණ සීමා පනවා තිබෙන කාලයේ දී ශ්‍රී ලංකා පොලීසිය විසින් අදාළ නිර්ණායක ක්‍රියාත්මක කරන අතර පළාත් සංචාරණ සීමාවන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද යොදවා ඇත.

Related posts

Leave a Comment